නික්මයාම 11

11
කුලුඳුලන් මැරීම
1සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “පාරාවෝ සහ මිසරය පිට මම තව එක වසංගතයක් පමුණුවමි. ඉන්පසු ඔහු මෙතැනින් නුඹලාට යන්න අවසර දෙනු ඇත. තවද, ඔහු නුඹලාට යන්න අවසර දෙන විට ‘ඇත්තට ම මෙතැනින් නුඹලා සහමුලින් ම පන්නාදමනු ඇත. 2සෑම පිරිමියෙකු ම තම අසල්වැසියාගෙන් ද, සෑම ස්ත්‍රියක ම තම අසල්වැසියාගෙන් ද රන් රිදී ආභරණ ඉල්ලාගන්න ලෙස දැන් සෙනඟට දන්වන්නැ”යි වදාළ සේක. 3සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට ප්‍රසාදය ලබා දුන් සේක. මෝසෙස් මිසර දේශයෙහි පාරාවෝගේ නිලධාරීන් හා සෙනඟ ඉදිරියෙහි අතිශ්‍රේෂ්ඨයෙක් විය.
4එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: ‘මධ්‍යම රාත්‍රිය පමණේ දී මම මිසර දේශය මැදින් යන්නෙමි. 5සිහසුන් අරා සිටින පාරාවෝගේ කුලුඳුල් පුත්‍රයා පටන් ඇඹරුම් ගල පිටුපස සිටින සේවිකාවගේ කුලුඳුලා දක්වා, මිසර දේශයේ සිටින සියලු කුලුඳුලන් මැරෙනු ඇත. මෘගයන්ගේ කුලුඳුලෝ ද මැරෙන්නෝ ය. 6මිසර දේශය පුරා මෙතෙක් නො වූ විරූ මතු ද නො වන මහා අඳෝනාවක් ඇති වන්නේ ය. 7එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය. 8එවිට ඔබේ මේ නිලධාරීහු සියලු දෙනා මා වෙත අවුත් මා හමුවෙහි වැඳ වැටී, ‘නුඹ, නුඹේ පිරිවර සමඟ පලා යනු’යි කියනු ඇත. ඉන්පසු මම නික්ම යන්නෙමි”යි කී ය. මෙසේ කී පසු මෝසෙස් උදහසින් දිළිහෙමින් පාරාවෝ වෙතින් නික්ම ගියේ ය.
9සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මිසර දේශයේ මාගේ හාස්කම් වැඩි වනු පිණිස පාරාවෝ නුඹට සවන් නොදෙනු ඇතැ”යි වදාළ සේක. 10මෝසෙස් හා ආරොන් පාරාවෝ ඉදිරියෙහි මේ සියලු හාස්කම් පෑ හ. සමිඳාණන් වහන්සේ ද පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ඉශ්රායෙල් ජනතාවට තම රටින් නික්ම යෑමට අවසර නුදුන්නේ ය.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

නික්මයාම 11 동영상