Logo de YouVersion
Ícono Búsqueda

සෙකරියා 11

11
1එම්බා ලෙබනොන්, නුඹේ දේවදාර ගස් ගින්නෙන් දැවී යන පිණිස,
නුඹේ දොරටු අරිනු.
2දේවදාර ගස ඇද වැටුණු නිසා එම්බා සයිප්‍රස් ගස, විලාප නගනු.
මහේශාක්‍ය ගස් වනසනු ලබන්නේ ය.
බාෂාන්හි ආලෝන් ගස් විලාප නගනු.
ඝන වනාන්තරය කපා දමනු ලැබිණ.
3එඬේරුන්ගේ විලාප හඬට සවන් දෙන්න;
ඔවුන්ගේ තේජස#11:3 තේජස එනම් ඔවුන්ගේ සශ්‍රීක තණ බිම් වනසනු ලැබ ඇත.
යොර්දාන් ඉවුරේ සරු සාර වන-ලැහැබ් වැනසී ඇති නිසා,
සිංහයින්ගේ ගෙරවුම් හඬට සවන් දෙන්න.
එඬේරු දෙදෙනෙක්
4මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඝාතනයට නියම බැටළු රැළට එඬේරකු වන්න. 5ඔවුන් මිලට ගන්නෝ ඔවුන් මරා දමා, දඬුවම් නො ලැබ සිටිති. ඔවුන් විකුණන්නෝ, ‘ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! අප දැන් ධනවත් යැ’ යි කියති. ඔවුන්ගේ ම එඬේරු ද ඔවුන්ට අනුකම්පා නො කරති. 6මන්ද මේ දේශවාසීන්ට තවත් මම අනුකම්පා නො කරමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “බලනු, හැම කෙනකු ම ඔවුනොවුන්ගේ අසල්වැසියා අතටත් තමන්ගේ රජු අතටත් වැටෙන්නට මම සලස්වන්නෙමි. ඔවුන් මේ දේශය හිංසා-පීඩාවෙන් පෙළනු ඇත. ඒ පීඩකයින්ගේ අත්වලින් මා ඔවුන් ගලවා ගන්නේ නැත.”
7එබැවින් මම, බැටළු වෙළෙන්දන්#11:7 බැටළු වෙළෙන්දන් හෙවත් දුබල උන් විසින් ඝාතනයට ලකුණු කරන ලද රංචුවේ එඬේරා වුණෙමි. මම කෙවිටි දෙකක් ගෙන, එකකට “ප්‍රසන්න” කියා ද අනිකට “එක්සත්” කියා ද නම් තබා, රැළ පෝෂණය කළෙමි. 8එක් මසක් ඇතුළත එඬේරුන් තුන් දෙනකු ම මම නෙරපා දැමුවෙමි.
රැළ ද මා පිළිකුල් කළෙන්, මම ඔවුන් ගැන විඩාවට පත් වීමි. 9එබැවින්, “මම තවත් ඔබේ එඬේරා නො වන්නෙමි. මැරෙනවුන් මැරේවා! විනාශවන්නන් විනාශ වෙත්වා! ඉතිරිවන්නවුන් එකිනෙකාගේ මාංස කා ගනිත්වා!” යි කී මම,
10“ප්‍රසන්න” නම් වූ මගේ කෙවිට ගෙන, එය කඩා දමමින්, සියලු ජනයින් සමඟ වූ ගිවිසුම ඉන් අවලංගු කර දැමීමි. 11ඒ දවසේ එය අවලංගු විය, එවිට, මා දෙස පරීක්ෂාවෙන් බලා සිටින බැටළු වෙළෙන්දෝ#11:11 බැටළු වෙළෙන්දෝ හෙවත් රැළේ දුබලයෝ ඒ හැම දේ ස්වාමින්වහන්සේගේ වචනය බව දැන ගත්හ.
12එවිට ඔවුන් ඇමතූ මම, “යුතු ය කියා ඔබ සිතන්නේ නම්, මගේ වැටුප මට දෙන්න. එසේ නො සිතන්නේ නම් ඔබ ම එය තියා ගන්නැ” යි කීවෙමි. එවිට ඔවුහු රිදී කාසි තිහක් කිරා, මට ගෙවූහ.
13එවිට, ඔවුන් මා මිල කළ ඒ මහ ලොකු ගාස්තුව, “කුඹල්කරුට වීසි කර දමන්නැ” යි ස්වාමින්වහන්සේ මට පැවසූ සේක. එබැවින් මම ඒ රිදී කාසි තිහ ගෙන, ස්වාමින්වහන්සේගේ ගෘහයේ කුඹල්කරුට එය වීසි කළෙමි.
14ඉන්පසු මම යූදා හා ඉශ්‍රායෙල් යන ජනයින් අතර තිබූ සහෝදරත්වය බිඳිමින්, “එක්සත්” නම් වූ මගේ දෙවන කෙවිටත් බිඳ දැමුවෙමි.
15එවිට ස්වාමින්වහන්සේ මා අමතමින්, “වැදගැම්මකට නැති එඬේරකුගේ උපකරණ යළිත් අරගන්න. 16මන්ද ඔන්න, එබඳු එඬේරකු මම මේ දේශයට පත් කර දෙන්නෙමි. ඔහු නැති නාස්ති වූවන් ගැන සලකන්නේ නැත; මංමුළා ව ගියවුන්#11:16 මංමුළා ව ගියවුන් හෙවත් ලාබාලවුන් සොයන්නේ නැත; තුවාලවූවන් සුව කරන්නේ නැත. නිරෝගිවූවන්ට කෑම දෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු, තර බැටළුවන්ගේ මස් කමින්, උන්ගේ කුර පවා ඉරා දමනු ඇත.
17“බැටළු රැළ අතරමං කරන
වැදගැම්මකට නැති මගේ එඬේරාට වන විපතක මහත!
ඔහුගේ බාහුවටත්, ඔහුගේ දකුණු ඇසටත් කඩු පහර වදීවා!
ඔහුගේ අත මුළුමනින් ම වියැළේවා!
ඔහුගේ දකුණු ඇස සම්පූර්ණයෙන් අන්ධ වේවා!” යි පැවසූ සේක.

Actualmente seleccionado:

සෙකරියා 11: SCV

Destacar

Compartir

Comparar

Copiar

None

¿Quieres guardar tus resaltados en todos tus dispositivos? Regístrate o Inicia sesión

Video de සෙකරියා 11