Logo de YouVersion
Ícono Búsqueda

උත්පත්ති 7

7
1 ස්වාමින්වහන්සේ ඉන්පසු නෝවා ඇමතූ සේක්, “ඔබත්, ඔබේ මුළු පවුලත් නැවට ඇතුළු වන්න. මන්ද මේ පරපුරේ ඔබ පමණක් ධර්මිෂ්ඨ වග මම දුටිමි. 2හැම වර්ගයක ම පවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩු හත බැගින් ද අපවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩුවක් බැගින් ද 3හැම වර්ගයක ම පක්ෂීන්ගෙන් කුරුල්ලකු හා උගේ කිරිල්ල යන වශයෙන් කුරුලු ජෝඩු හත බැගින් ද ඒ ඒ සත්ව වර්ග පොළෝ තලේ නො නැසී පැවැත්ම සඳහා ඔබ කැටිව ගෙන යන්න. 4තව හත් දවසකින් දහවල හතළිහක් හා රෑ හතළිහක් එක දිගට පොළොව පිට වැසි වස්සන්නෙමි. එසේ මා විසින් සාදන ලද හැම සජීවී සතකු ම පොළෝ තලයෙන් තුරන් කර දමන්නෙමි” යි පැවසූ සේක.
5නෝවා, ස්වාමින්වහන්සේ තමාට අණ කළ සියල්ල කළේ ය.
6පොළොව මතට ජලගැල්ම පැමිණෙන විට නෝවාගේ වයස අවුරුදු හයසියයක් විය. 7ජලගැල්මෙන් බේරෙනු පිණිස, නෝවා තම පුතුන් ද තම භාර්යාව හා තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව නැවට ඇතුළු වූයේ ය. 8පවිත්‍ර සහ අපවිත්‍ර සතුන් ද පක්ෂීන් හා බිම බඩ ගා යන සියලු උරගයින් ද 9ජෝඩු වශයෙන්, එනම් පිරිමි සතකු හා ගැහැනු සතකු වශයෙන් නෝවා වෙත නැවට ඇතුළු වූයේ, දෙවියන්වහන්සේ නෝවාට අණ කර තිබූ පරිද්දෙනි. 10හත් දවසකට පසු, ජලගැල්ම පොළොව පිටට පැමිණියේ ය.
11නෝවාගේ ජීවිතයේ හයසිය වන අවුරුද්දේ දෙවන මාසයේ, දහහත් වන දිනදී ම භූ පත්ලේ සියලු ජල උල්පත් පුපුරා ඇරිණි; අහසේ ජල දොරවල් ද විවර කෙරිණි. 12මහ වරුසාව දහවල හතළිහක් හා රෑ හතළිහක් නොකඩවා පොළොව පිට ඇද හැලිණි.
13ඒ දවසේදී ම නෝවා සහ ඔහුගේ පුතුන් තිදෙනා වන ෂේම්, හාම් හා යාෆෙත් ද ඔවුන් සමඟ නෝවාගේ භාර්යාව හා ඔහුගේ පුතුන්ගේ භාර්යාවන් තිදෙනා ද නැවට ඇතුළු වූහ. 14ඔවුන් සමඟ ඒ ඒ හැම වර්ගවල වන සත්තු ද ඒ ඒ හැම වර්ගවල සියලු ගව-මහීෂාදී සත්තු ද පොළොව පිට ඇදෙන ඒ ඒ වර්ගවල උරග හා හැම වර්ගයක ම පක්ෂීහු ද ඉගිළෙන සියලු සත්ව විශේෂ ද වූහ. 15ජීවන හුස්ම ඇති සියලු සත්වයෝ යුගල බැගින් නෝවා වෙත අවුත් නැවට ඇතුළු වූහ. 16මෙසේ, සජීවී සතුන් පිරිමි සතකු හා ගැහැනු සතකු බැගින් නැවට ඇතුළු වූයේ, දෙවියන්වහන්සේ නෝවාට අණ කර තිබූ පරිද්දෙනි. ඔහු එහි ඇතුළු කොට, ස්වාමින්වහන්සේ නැවේ දොර වැසූ සේක.
17ජලගැල්ම දවස් හතළිහක් පුරා පොළොවේ පැවතිණ. ජල කඳ නැගෙත් ම, නැව ද පොළොවෙන් උඩට එසවිණ. 18ජලය බෙහෙවින් නැගි නැගී වැඩි වෙත් ම, නැව ජල මතු පිට පා විණි. 19මිහි මත වඩ වඩා නැගී ආ මහ ජල කඳ, අහසින් යට තිබූ උස් කඳු සියල්ල යට කර දැමී ය. 20එසේ නැගුණු ජල කඳ, කඳුවලට රියන් පහළොවක් ඉහළින් වැසී ගත්තේ ය. 21මිහි පිට ගැවසුණු සජීව සියල්ලන් වූ පක්ෂීහු, ගව-මහීෂාදී සත්තු, වන සත්තු හා පොළොව පිට ඇදෙන සියලු ජීවීන් ද මුළු මිනිස් වර්ගයා ද විනාශ වූහ. 22නාස් පුඩුවල ජීවන හුස්ම ඇති ව ගොඩ බිම සිටි සැවොම මළහ. 23උන්වහන්සේ, මිනිසුන් සහ සතුන් ද බිම බඩගාන උරගයන් හා අහස් පක්ෂීන් ද පොළොවෙන් තුරන් කර දැමූ සේක. පොළෝ තලයේ විසූ ජීවමාන සියල්ල සහමුලින් ම විනාශ කෙරිණි. නෝවා පමණක් නැවෙහි ඔහු හා සිටි අය සමඟ ඉතිරි විය.
24ජලය දින එකසිය පනහක් ම පොළොව යට කර පැවතියේ ය.

Actualmente seleccionado:

උත්පත්ති 7: SCV

Destacar

Compartir

Comparar

Copiar

None

¿Quieres guardar tus resaltados en todos tus dispositivos? Regístrate o Inicia sesión