Logo de YouVersion
Ícono Búsqueda

උත්පත්ති 39

39
යෝසෙප් සහ පොතිෆර්ගේ බිරිඳ
1මේ අතර, යෝසෙප් ඊජිප්තුවට ගෙන යනු ලැබී ය. එහි ඔහු ගෙන ගිය ඉෂ්මායෙල්වරුන් වෙතින් ඔහු මිලයට ගන්නා ලද්දේ, පාරාවෝ රජුගේ නිලධාරියකු වූ ඊජිප්තියානු ආරක්ෂක සෙන්පති පොතිෆර් විසිනි.
2 ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක. එබැවින් ඔහු සඵල විය. ඊජිප්තියානු තම ස්වාමියාගේ නිවසේ ඔහු වාසය කළේ ය. 3ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ වගත්, ඔහු කළ හැම දෙයකදී ම ස්වාමින්වහන්සේ ඔහු සඵල කළ වගත් ඔහුගේ ස්වාමියා දුටුවේ ය. 4එබැවින් යෝසෙප් ඔහුගේ ප්‍රසාදය දිනා, ඔහුගේ පුද්ගලික සේවකයා බවට පත් විය. පොතිෆර් තම නිවසේ කළමනාකාරිත්වය හා තමා සතු සියල්ලේ භාරකාරත්වය ඔහුට පැවරී ය. 5ඔහු තම නිවසේත්, තමා සතු සියල්ලේත් කළමනාකාරිත්වය යෝසෙප්ට පැවරූ කාලයේ පටන්, යෝසෙප් නිසා ස්වාමින්වහන්සේ ඊජිප්තු ජාතිකයාගේ නිවසට ආශිර්වාද කළ සේක. ඔහුගේ නිවස තුළත්, ඔහුගේ වතු පිටිවලත් ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය විය. 6මෙසේ ඔහු තමා සතු ව තිබූ හැම දෙයක් ම යෝසෙප්ට බාර කළේ ය. ඒවා ඔහුගේ බාරයේ වූ බැවින්, තමාගේ ආහාර පාන ගැන මිස, අන් කිසිවක් ගැන ඔහු සොයා බැලුවේ නැත.
මේ වන විට යෝසෙප්, රූපසම්පන්න, කඩවසම් පෙනුමින් යුතු කෙනෙක් විය. 7මද කලකින් යෝසෙප් වෙත ආශා දෑස යොමන්නට වූ ඔහුගේ ස්වාමියාගේ බිරිඳ, “මා හා යහනට එන්නැ” යි ඔහුට කතා කළා ය.
8එහෙත් එය ප්‍රතික්ෂේප කළ ඔහු, තම ස්වාමියාගේ බිරිඳ අමතමින්, “මගේ බාරයේ තිබෙන නිසා, මේ නිවසේ කිසි දෙයක් ගැන සොයා බලන්නට මගේ ස්වාමියා කරදර නො වෙයි. තමා සන්තක හැම දේ ම, ඔහු මගේ බාරයට පවරා තිබේ. 9මේ නිවස තුළදී මට වඩා උසස් කෙනෙක් නැහැ. ඔබ ඔහුගේ බිරිඳ බැවින්, ඔබ හැරුනු කොට මගේ ස්වාමියා අන් කිසිවක් මගෙන් වළක්වා නැත. එසේ නම්, මා මෙවැනි මහා දුෂ්ටකමක් කොට දෙවියන්වහන්සේට එරෙහිව පව් කරන්නේ කෙසේ දැ?” යි කීවේ ය. 10දවසින් දවස ඇය යෝසෙප්ට කතා කළ ද, ඇය හා යහන් වදින්නට හෝ ඇය ළඟ සිටීමට ඔහු ඇයට සවන් දුන්නේ නැත.
11මේ අතර දිනක් ඔහු තම කාරියේ යෙදෙන පිණිස ගෙතුළට ගියේ ය. ගෘහවාසී මිනිසුන්ගෙන් කිසිවකුත් ගෙතුළ සිටියේ නැත. 12එවිට ඔහුගේ සළුවෙන් ඔහු අල්ලා ගත් ඈ, “මා සමඟ සයනය කරන්නැ” යි කීවා ය. එහෙත්, ඔහු තම සළුව ඇගේ අතේ තියෙන්නට හැර, ගෙයින් පිටතට පලා ගියේ ය.
13එකල, ඔහු ඔහුගේ සළුව තම අතේ තියෙන්නට හැරගිය වගත්, ඔහු ගෙයින් පිටතට පලා දිවූ වගත් දුටු ඈ, 14තම ගෘහවාසී මිනිසුනට හඬ ගැසුවා ය. ඈ ඔවුන් අමතමින්, “මේ බලන්න, ඔහු හෙබ්‍රෙව්වකු මෙහි ගෙනැවිත් ඇත්තේ, අප අවමානයට ලක් කරන්නටයි. ඔහු ඇතුළට මා වෙත ආවේ මා හා සයනය කරන්නටයි. ඒත් මා උස් හඬින් කෑ ගැසුවා. 15මා උස් හඬ නගා, කෑ ගසනු ඇසුණු විගස, තම සළුවත් මා ළඟ දමා, ගෙයින් පිටතට ඔහු පැන දිව්වා” යි කීවා ය.
16ඔහුගේ ස්වාමියා නිවසට එන තෙක්, එම සළුව තමා ළඟ ම තබා ගත් ඈ, 17ඔහුට එම කතාව ම කියමින්, “ඔබ රැගෙන ආ අර හෙබ්‍රෙව් වහලා මට අවමන් කරන්නට, මා ළඟට ආවා. 18ඒත් මා උස් හඬ නගා කෑ ගැසුවාම, ඔහු තම සළුවත් මා ළඟ දමා, ගෙයින් පිටතට පැන දිව්වා” යි කීවා ය.
19“ඔබගේ වහලා මට සැලකුවේ මේ අයුරිනැ” යි තම බිරිඳ කී වචන ඇසූ ඔහුගේ ස්වාමියා කෝපයෙන් ඇවුළුණේ ය. 20එබැවින් යෝසෙප්ගේ ස්වාමියා, ඔහු අල්ලා, රජුගේ සිරකරුවන් සිරකර තබන සිර ගෙයි දැම්මේ ය.
යෝසෙප් සිර ගෙයි සිටියදීත්, 21ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ සේක්, ඔහුට කරුණාව පා, සිරගෙදර අධිකාරිගේ ප්‍රසාදය ඔහුට ලබා දුන් සේක. 22සිරගෙදර අධිකාරිවරයා සිර ගෙයි සිටි සිරකරුවන් සියල්ලන්ගේ භාරකාරත්වය යෝසෙප්ට පැවරී ය. එහිදී කරන හැම කාරියක වගකීම ද ඔහුට පැවරී ය. 23යෝසෙප්ගේ බාරයේ පැවති කවර දෙයක් ගැන වුව, සිරගෙදර අධිකාරිවරයා කරදර නො වී ය. මන්ද ස්වාමින්වහන්සේ ඔහු සමඟ සිටිමින්, ඔහු කළ හැම දෙයකදී ම ඔහු සඵල කළ නිසා ය.

Actualmente seleccionado:

උත්පත්ති 39: SCV

Destacar

Copiar

Comparar

Compartir

None

¿Quieres guardar tus resaltados en todos tus dispositivos? Regístrate o Inicia sesión