ශු. මතෙව් 28
28
යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම
1සබත් දවස නිමවන්ට ළංව සතියේ පළමුවෙනි දවසට එළිවෙන වේලෙහි, මග්දලායේ මරියාද අනික් මරියාද සොහොන්ගෙය බලන්ට ගියෝය. 2එවිට මහත් පොළෝකම්පාවක් විය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත්, ගල අහකට පෙරළා, ඒ පිට ඉඳගත්තේය. 3ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය. 4රැකවල්ලු ඔහුට භයින් වෙවුලා මළවුන් සේ වූහ. 5දේවදූතයා ඒ ස්ත්‍රීන්ට කථාකරමින්: භය නොවෙන්න; මක්නිසාද කුරුසියෙහි ඇණ ගසනලද යේසුස්වහන්සේව නුඹලා සොයන බව දනිමි. 6උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ කී ලෙසම නැගුටුණුසේක. එන්න, ස්වාමීන්වහන්සේ උන් ස්ථානය බලා ඉක්මනින් ගොස්, 7උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණුසේක කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියන්න; උන්වහන්සේ නුඹලාට පළමු ගලීලයට යනසේක; එහිදී නුඹලා උන්වහන්සේ දකින්නහුය. බලන්න, නුඹලාට කීයෙමියි කීවේය. 8එවිට ඔව්හු භයින්ද මහත් ප්‍රීතියෙන්ද සොහොන් ගෙයින් ඉක්මනින් නික්ම ගොස්, උන්වහන්සේගේ ගෝලයන්ට දන්වන පිණිස දිවුවෝය. 9එකල යේසුස්වහන්සේ ඔවුන්ට සම්මුඛවී: ශුභසිද්ධවේවයි කීසේක. ඔව්හු ළඟට ඇවිත් උන්වහන්සේගේ පාද වැළඳගෙන, උන්වහන්සේට නමස්කාරකළෝය. 10එකල යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: භය නොවෙන්න, මාගේ සහෝදරයන් ළඟට ගොස්, ගලීලයට පිටත්ව යන්ට ඔවුන්ට කියන්න, එහිදී ඔවුන් මා දකිනවා ඇතැයි කීසේක.
11ඔවුන් යන කල රැකවලුන්ගෙන් සමහරෙක් නුවරට ඇවිත් සිදුවූ සියල්ල නායක පූජකයන්ට දැන්නුවෝය. 12එවිට ඔව්හු වැඩිමහල්ලන් සමඟ රැස්ව මන්ත්‍රණයකොට, හේවායන්ට බොහෝ මිලදී: 13අප නිදාඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝයයි කියන්න. 14මේක ආණ්ඩුකාරයාට ආරංචිවුණොත්, අපි ඔහු සතුටුකොට නුඹලා බේරාගන්නෙමුයයි කීවෝය. 15ඔව්හු මිල රැගෙන තමුන්ට ඉගැන්නූ ලෙස කළෝය. මෙසේ ඒ කීම යුදෙව්වරුන් අතරේ ප්‍රසිද්ධව, අද දක්වා පවත්නේය.
ගලීලයේදී ප්‍රේරිතයන්ට දර්ශනය වීම
16ගෝලයෝ එකොළොස්දෙනා යේසුස්වහන්සේ තමුන්ට නියමකළ ගලීලයේ කන්දට ගියෝය. 17ඔව්හු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාරකළෝය. නුමුත් සමහරෙක් සැකකළෝය. 18යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. 19එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න. 20මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
Actualmente seleccionado:
ශු. මතෙව් 28: SROV
Destacar
Compartir
Comparar
Copiar
¿Quieres guardar tus resaltados en todos tus dispositivos? Regístrate o Inicia sesión
Ceylon Bible Society