සෙකරියා 4
4
රන් පහන් රුක සහ ඔලීව අතු දෙක නම්වූ දර්ශනය
1මා සමග කථාකළ දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා පුබුදුවා: 2නුඹට පෙනෙන්නේ මොකදැයි මාගෙන් ඇසුවේය. මමද: මුළුමනින්ම රන්මයවූ පහන් රුකක් මට පෙනෙයි; ඒකේ මුදුනේ ඒකේ භාජනයත් ඒක උඩ ඒකේ පහන් සතකුත්, ඒක උඩ තිබෙන පහන්වලට නළ සතකුත්, 3ඒක ළඟ පාත්‍රයට දකුණෙන් එකක්ද වමෙන් එකක්ද බැගින් ඔලීව ගස් දෙකකුත් තිබේයයි කීවෙමි. 4තවද මා සමග කථාකළ දූතයාට මම උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, මේවා මොනවාදැයි ඇසුවෙමි. 5මා සමග කථාකළ දූතයා මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි මට කීවේය. මාගේ ස්වාමිනි, නැතැයි මම කීවෙමි. 6එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 7එම්බා මහත් කන්ද, නුඹ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද: ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කීය. 8තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 9සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුකරනවා ඇත; එසේ සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලා ළඟට මා එවූ බව නුඹ දැන ගන්නවා ඇත. 10මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය. 11මම තවත් කථාකොට: පහන්රුකට දකුණෙනුත් වමෙනුත් තිබෙන මේ ඔලීව ගස් දෙක මොනවාදැයි ඔහුගෙන් අසා, 12නැවත කථාකොට: රන් නළ දෙකෙන් රන් වැනි තෙල් වත්කරදෙන ඔලීව අතු දෙක මොනවාදැයි ඔහුගෙන් ඇසුවෙමි. 13ඔහු මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි ඇසුවේය. මාගේ ස්වාමිනි, නැතැයි කීමි. 14මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ වෙත සිටින ආලේපලත් දෙදෙනායයි ඔහු කීය.
دیاریکراوەکانی ئێستا:
සෙකරියා 4: SROV
بەرچاوکردن
لەبەرگرتنەوە
بەراوردکردن
هاوبەشی بکە
دەتەوێت هایلایتەکانت بپارێزرێت لەناو ئامێرەکانتدا> ? داخڵ ببە
Ceylon Bible Society