لۆگۆی یوڤێرژن
ئایکۆنی گەڕان

ශු. මතෙව් 11

11
1යේසුස්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනාට අණකොට නිමකළ පසු එතැනින් පිටත්ව, ඔවුන්ගේ නුවරවල උගන්වන්ටද දේශනා කරන්ටද ගියසේක.
යොහන් බව්තීස්ත
2යොහන් ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන හිරගෙයිදී අසා: එන්නාවූ තැනැත්තේ ඔබද? 3නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදැයි තමාගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාළේය. 4යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා අසන දකින දේ නුඹලා ගොස් යොහන්ට දන්වන්න. 5අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ. 6මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද ඔහු ආශීර්වාදලද්දෙකැයි ඔවුන්ට කීසේක. 7ඔවුන් යද්දී යේසුස්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බට ගසක්ද? 8නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, සිහින් වස්ත්‍ර අඳින්නෝ රජ ගෙවල සිටිති. 9නුමුත් කුමකට පිටත්ව ගියහුද? අනාගතවක්තෘ කෙනෙකු බලන්ටද? එසේය, නුඹලාට කියමි: අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය. 10මක්නිසාද–
මෙන්න, මම මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, ඔහු නුඹ ඉදිරියෙහි නුඹේ මාර්ගය සාදන්නේයයි
ලියා තිබෙන්නේ මොහු ගැනය. 11සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය. 12යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ගරාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ, බලාත්කාරකරන්නෝ ඒක බලයෙන් අල්ලාගනිති. 13මක්නිසාද සියලු අනාගතවක්තෘවරුද ව්‍යවස්ථාවද යොහන් දක්වා අනාගතවාක්‍ය කීවෝය. 14නුඹලා පිළිගන්ට කැමති නම් එන්ට සිටින එලියා මොහුය. 15ඇසීමට කන් ඇත්තේ අසාවා. 16නුමුත් මේ පරම්පරාව කුමකට සමානකරම්ද? අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; 17නුඹලාට විලාපකීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළඳාම්පළවල හිඳ තමුන්ගේ යහළුවන්ට හඬගසා කියන්නාවූ ළමයින්ට සමානය. 18මක්නිසාද යොහන් කමින් බොමින් නාවේය, එබැවින් ඔහු යක්ෂාවේශවූ කෙනෙකැයි ඔව්හු කියති. 19මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් ආවේය, බලව, කෑදර මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය, සුංගම් අයකරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්යයි ඔව්හු කියති. එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියාවලින් ඔප්පුවී තිබේයයි කීසේක.
පශ්චාත්තාප නුවූ නගරවල් ගැන තර්ජන ප්‍රකාශය
20එකල උන්වහන්සේගේ බලවත් ක්‍රියාවලින් බොහොමයක් කරන්ට යෙදුණු නුවරවල් පසුතැවිලි නුවූ බැවින් ඒවාට වරද තබන්ට පටන්ගෙන: 21කොරාශීන්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදොන් ඇතුළේ කරනලද්දේ නම්, ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝණි රෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත. 22එසේවී නුමුත් විනිශ්චය දවසේදී නුඹට වඩා තීර්ට සහ සීදොන්ට ඉවසන්ට පහසුවන්නේයයි කියමි. 23එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස්කරනු ලබන්නීද? නුඹ පාතාලය දක්වා පහළට හෙළනු ලබන්නීය. නුඹ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා සොදොම් ඇතුළේ කරනලද්දේ නම්, අද දක්වා ඒක පවතිනවා ඇත. 24එසේවීනුමුත් විනිශ්චය දවසේදී නුඹට වඩා සොදොම් රටට ඉවසන්ට පහසු වන්නේයයි කියමියි කීසේක.
ළදරු ගතිය
25ඒ ප්‍රස්ථාවේදී යේසුස්වහන්සේ උත්තර දෙමින් කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සඟවා ළදරුවන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි. 26එසේය, පියාණෙනි, මක්නිසාද එය ඔබගේ ඇස් හමුවෙහි ප්‍රසන්නදායක විය.
යේසුස්වහන්සේගේ විශේෂ මෙහෙය
27මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත. 28වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. 29මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. 30මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

دیاریکراوەکانی ئێستا:

ශු. මතෙව් 11: SROV

بەرچاوکردن

هاوبەشی بکە

بەراوردکردن

لەبەرگرتنەوە

None

دەتەوێت هایلایتەکانت بپارێزرێت لەناو ئامێرەکانتدا> ? داخڵ ببە