උත්පත්ති 28
28
1ඊසාක් ද, ජාකොබ් කැඳවා, ඔහුට ආශීර්වාද කොට අණ කරමින්, “නුඹ කානානිය ස්ත්‍රීන්ගෙන් භාර්යාවක සරණ පාවා නොගත යුතු ය. 2නැඟිට, මෙසොපොතේමියාවේ නුඹේ මවගේ පියා වන බෙතුයෙල්ගේ ගෙදරට යන්න; එහි ගොස් නුඹේ මවගේ සහෝදර වූ ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක සරණ පාවාගන්න; 3සියලු බලැති දෙවියන් වහන්සේ නුඹට ආශීර්වාද කොට, නුඹ සමෘද්ධ කර, නුඹ ජාතීන් සමූහයක් වන පිණිස, උන් වහන්සේ නුඹ වැඩි වර්ධනය කරන සේක් වා! 4#උත් 17:4-8තවද, උන් වහන්සේ ආබ්‍රහම්ට දුන්, නුඹ දැන් විදේශිකයෙකු ව වසන රට, නුඹට උරුම වන පිණිස, ආබ්‍රහම්ගේ ආශීර්වාදය නුඹටත් නුඹේ පෙළපතටත් දානය කරන සේක් වා”යි කී ය. 5මෙලෙස කියා, ඊසාක් ජාකොබ් පිටත් කොට හැරියේ ය. ඔහු මෙසොපොතේමියාවේ අරමීය ජාතික බෙතුයෙල්ගේ පුත් ලාබන් වෙත ගියේය. ලාබන්, ජාකොබ්ගේ හා ඒසව්ගේ මව වන රෙබෙකාගේ සහෝදරයා ය.
6ඊසාක් ජාකොබ්ට ආශීර්වාද කොට, මෙසොපොතේමියාවෙන් බිරිඳක සරණ පාවාගනු පිණිස එහි යැවූ බව ද, ඔහු ආශීර්වාද කරද්දී, “කානානිය ස්ත්‍රීන්ගෙන් බිරිඳක පාවා නොගත යුතු ය”යි ඔහුට අණ කළ බව ද, 7ජාකොබ්, පියාට හා මවට කීකරු ව මෙසොපොතේමියාවට ගිය බව ද ඒසව් දිටී ය. 8මෙසේ ඒසව් තම පිය ඊසාක්ට, කානානිය කාන්තාවන් රිසි නො වූ බව තේරුම්ගත් විට 9ඔහු ඉෂ්මායෙල් වෙත ගොස්, තමාට සිටි භාර්යාවන්ට අමතර ව, ආබ්‍රහම් පුත් ඉෂ්මායෙල්ගේ දුව වන නෙබායොත්ගේ සහෝදරී මහලත් ද, තම භාර්යාව වශයෙන් සරණ පාවාගත්තේ ය.
ජාකොබ් දුටු සිහිනය
10ජාකොබ් බෙයර්-ෂෙබායෙන් නික්ම හාරාන් බලා ගියේය. 11ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැස ගිය හෙයින්, මුළු රාත්‍රිය ම එහි ගත කෙළේ ය. තවද, ඔහු එතැනින් ගලක් රැගෙන, එය මත හිස තබාගෙන නිදන්නට විය. 12#ජොහ 1:51 එවිට ඔහු සිහිනයක් දිටී ය. පුදුමයකි! පොළොවෙහි තබන ලද ඉණිමඟකි. එහි මුදුන අහස දක්වා විය. මෙන්න, දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නඟිමින් ද බසිමින් ද සිටියෝ ය. 13#උත් 13:14-15 සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි. 14#උත් 12:3; 22:18 තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය. 15මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක. 16ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය. 17ඔහු බිය වී, “මේ ස්ථානය කෙතරම් බියකරු ද? මෙය අනෙකක් නොව දෙවියන් වහන්සේගේ ගෘහයකි; මෙය ස්වර්ගයේ දොරටුව ය”යි පැවසී ය.
18ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය. 19තවද, ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කෙළේ ය. එහෙත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූස් ය. 20ඔහු භාරයක් ඔප්පු කරමින්, “දෙවියන් වහන්සේ මා සමඟ වැඩසිට, මෙසේ මා යන මඟ ආරක්ෂා කර, මට කන්නට ආහාර ද අඳින්නට වස්ත්‍ර ද දෙන සේක් නම්, 21අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක. 22තවද, සිහිවටනයක් මෙන් මා සිටවූ මේ ගල දෙවියන් වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් සැබැවින් ම මම ඔබට දසයෙන් කොටසක් දෙන්නෙමි”යි කී ය.
Ekhethiweyo ngoku:
උත්පත්ති 28: NRSV
Qaqambisa
Kopa
Thelekisa
Yabelana
Ufuna ukuba iimbalasane zakho zigcinwe kuzo zonke izixhobo zakho? Bhalisela okanye ngena
Ceylon Bible Society