උත්පත්ති 22
22
ඊසාක් පූජා කරනු ලැබීම
1 #
හෙබ්‍රෙ 11:17-19 ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි. 2#2 වංශා 3:1 එවිට උන් වහන්සේ “නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.
3ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය. 4තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය. 5එවිට ඔහු සිය සේවකයන්ට කතා කොට, “කොටළුවා සමඟ මෙහි නවතින්න, දරුවා ද මම ද අතනට ගොස්, වැඳ පුදා ආපසු එන්නෙමු”යයි කීවේ ය.
6මෙසේ කියා ආබ්‍රහම් දවන යාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා, තම අතට ගින්දර ද පිහිය ද ගෙන, දෙදෙනා ම එක් ව යන්න පිටත් වූ හ. 7මෙසේ යද්දී, ඊසාක් තම පිය ආබ්‍රහම්ට, “තාත්තේ” කියා ඇමතූ විට, “පුතා, මම මෙහි ය”යි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක්, “තාත්තේ, මෙහි දරත් ඇත; ගින්දරත් ඇත; නමුත් පූජාවට බැටළු පැටවා කොහේ ද” කියා ඇසී ය. 8එවිට ආබ්‍රහම්, “පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ.
9 #
ජාකො 2:21 මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය. 10මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය. 11එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, “ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. “මම මෙහි සිටිමි”යි ඔහු කී ය. 12එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය. 13එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය. 14තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට “ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා “සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ.
15සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට, 16#හෙබ්‍රෙ 6:13-14 “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින් 17#හෙබ්‍රෙ 11:12 මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය. 18#ක්‍රියා 3:25 ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්, මිහි පිට සියලු ජාතීහු ඔබ මඟින් ආසිරි ලබන්නෝ ය”යි කී ය. 19ආබ්‍රහම් පසු ව තම සේවකයන් වෙත ආපසු ගිය විට, ඔව්හු සියල්ලෝ ම නැඟිට ගොස් බෙයර්-ෂෙබාවෙහි පදිංචි වූ හ.
නාහෝර්ගේ පෙළපත
20ඉනික්බිති තම සොහොයුරු නාහෝර්ගෙන් මිල්කා දරුවන් ලැබූ බව ආබ්‍රහම්ට දැනගන්නට ලැබිණි. 21ඔවුන් නම්, කුලුඳුල් පුත්‍රයා වූ ඌශ් ද, ඔහුගේ සහෝදර වූ බුශ් ද, ආරම්ගේ පියා වූ කෙමුවෙල් ද, 22කෙසෙද් ද හශෝ ද, පිල්දාෂ් ද, ජිද්ලප් ද බෙතුයෙල් ද ය. 23මිල්කා ආබ්‍රහම්ගේ සහෝදර වූ නාහෝර්ගෙන් මේ දරුවන් අටදෙනා ලැබුවා ය. තවද, බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නා ය. 24නාහෝර්ගේ උපභාර්යාව වන රෙයුමා, තෙබා, ගහම්, තහෂ් හා මයකා යන දරුවන් ලැබුවා ය.
Đang chọn:
උත්පත්ති 22: SNRV
Tô màu
Sao chép
So sánh
Chia sẻ
Bạn muốn lưu những tô màu trên tất cả các thiết bị của mình? Đăng ký hoặc đăng nhập