යෝෂුවා 2

2
රාහාබ් හා ඔත්තුකරුවෝ
1ඉන්පසු නූන්ගේ පුත් යෝෂුවා, ෂිට්ටීම්හි සිට මිනිසුන් දෙදෙනකු ඔත්තුකරුවන් වශයෙන් රහසේ පිටත් කර යවමින්, “යන්න, දේශය නිරීක්ෂණ කරන්න; විශේෂයෙන් ම යෙරිකෝව යැ” යි පැවසී ය. එබැවින් ඔවුහු පිටත් ව ගොස්, රාහාබ් නම් වූ වෙසඟනගේ නිවසට පිවිස, එහි නවාතැන් ගත්හ.
2යෙරිකෝවේ රජුට ඒ වග පවසන ලදී. “අන්න! ඉශ්‍රායෙල් මිනිසුන් දේශය පරීක්ෂා කරන්නට අද රෑ මෙහි ඇවිල්ලා.” 3එවිට යෙරිකෝවේ රජ, රාහාබ් වෙත පණිවුඩ යවමින්, “ඔබ වෙත පැමිණ, ඔබේ නිවසට ඇතුල් වූ මිනිසුන් පිටතට ගෙනෙන්න. මන්ද ඔවුන් ඇවිත් සිටින්නේ මුළු දේශය ම පරීක්ෂා කර බලන්නට යැ” යි දැන්වී ය.
4එහෙත් එම කාන්තාව ඒ මිනිසුන් දෙදෙනා කැඳවා, ඔවුන් සැඟෙවුවා ය. ඉන්පසු ඈ, “ඔව්, ඒ මිනිසුන් මා වෙත ආවා. ඒත් ඔවුන් කොහේ සිට ආවාදැයි මා දැන සිටියේ නැහැ. 5ගොම්මන් යාමයේ නගර දොරටු#2:5 නගර දොරටු එනම් නගර දොරටු ප්‍රජා පොළ වහන්න කිට්ටු වෙද්දී, ඔවුන් පිටත් ව ගියා. ඔවුන් කොයි අත ගියාදැයි මා දන්නේ නෑ. හනික ඔවුන් ලුහුබැඳ යන්න. ඔවුන් අල්ලා ගන්නට ඔබට හැකි වේවි” යි කීවා ය. 6එහෙත් ඈ පියස්ස උඩට ඔවුන් ගෙන ගොස්, පියස්ස මත අතුරා තිබූ හණ දඬු යට ඔවුන් සැඟෙවුවා ය. 7එබැවින් ඒ මිනිස්සු යොර්දාන් දක්වා දිවෙන මගෙහි ගංතොට තෙක් දුරට ඔවුන් ලුහුබැඳ ගියහ. ලුහුබඳින්නන් පිට ව ගිය සැණෙන් දොරටුව වසන ලදී.
8ඔවුන් නිදාගන්නට පෙර, ඈ, පියස්ස උඩට ඔවුන් වෙත අවුත්, 9ඒ මිනිසුන් අමතා, “මා දන්නවා, ස්වාමින්වහන්සේ මේ දේශය ඔබට දී ඇති වග: එනිසා ඔබ ගැන මහත් භීතියක් අප මත පතිත වෙලා. මේ නිසා දේශ වාසී සියල්ලන් භයින් මිලාන වෙලා. 10මන්ද ඊජිප්තුවෙන් ඔබ පිටත් ව එද්දී, ස්වාමින්වහන්සේ ඔබ උදෙසා රතු මුහුද වියළූ අයුරුත්, යොර්දාන් ගඟෙන් එතෙර සිටි අමෝරි රජුන් දෙදෙනා, සීහොන් හා ඕග් මුළුමනින් විනාශ කරමින්#2:10 මුළුමනින් විනාශ කරමින් එනම් විනාශය පිණිස ස්වාමින්වහන්සේට පූජාවක් ලෙස වෙන් කරනු ලැබීම, ඔබ ඔවුන්ට කළ දේත් අපට අසන්නට ලැබුණා. 11ඒ ඇසූ අපගේ හදවත් දියවී, අප හැම කෙනකුගේ ම ධෛර්යය සිඳී ගොසින්. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉහළ අහසේ ද පහත පොළොවේ ද දෙවියන්වහන්සේ ය.
12“එබැවින් දැන් මා ඔබට දැක් වූ කරුණාව පරිද්දෙන් ඔබත් මගේ පියාගේ පවුලේ උදවියට කරුණාව දක්වමින් 13මගේ පියා හා මව ද මගේ සහෝදරයින් හා සහෝදරියන් ද ඔවුන්ට අයත් සියල්ලන් ද වන අපගේ ජීවිත මරණින් බේරන බවට ස්වාමින්වහන්සේගේ නාමයෙන් මට දිවුරන්න. ඒ සඳහා මට ලකුණකින් සහතික වන්නැ” යි කීවා ය.
14ඒ මිනිස්සු ඇයට පිළිතුරු දෙමින්, “ඔබේ ජීවිතය වෙනුවට අපේ ජීවිත පා, අප මේ කරන කාර්යය ඔබ හෙළි කරන්නේ නැති නම්, ස්වාමින්වහන්සේ දේශය අපට දෙන කල, අපි ඔබට කාරුණික ව හා විශ්වසනීය ව සලකන්නෙමු” යි ඇයට පැවසූහ.
15ඇය වාසය කළේ පුර පවුරේ ම ය. ඇගේ නිවස තනා තිබුණේ පවුර මත බැවින් ඈ, කඹයකින් කවුළුවෙන් පිටතට ඔවුන්ට බසින්නට සැලසුවා ය. 16තවද ඈ ඔවුන් අමතා, “කඳුකරය දෙසට යන්න; නැතහොත් ලුහුබැඳ ගියවුන්ට ඔබ මුණ ගැසේවි. ඔවුන් ආපසු හැරී එන තුරු දවස් තුනක් එහි සැඟවී සිටින්න. ඉන්පසු ඔබේ ගමන ඔබට යන්නට පුළුවනැ” යි කීවා ය.
17ඒ මිනිස්සු ඇය අමතමින්, “ඔබ අපගෙන් ශපථ කරවා ගත් ඔබගේ දිවුරුමෙන් අප නිදහස් වන්නේ මෙසේයි: 18ඔන්න! දේශයට අප පැමිණෙන කල, මේ රත් පැහැති ලණුපට, ඔබ අපට බසින්නට සැලසූ කවුළුවේ බැඳ තැබිය යුතු ය. ඔබේ පියා හා මව ද ඔබේ සොහොයුරන් හා ඔබේ පියාගේ ගෘහවාසී සියල්ලන් ද ඔබේ නිවසට රැස් කර ගත යුතු ය. 19යමෙකු ඔබේ නිවසේ දොරෙන් පිටතට, වීදියට ගියහොත් ඔහුගේ ලේ ඔහුගේ හිස පිට වන්නේ ය. එහි වගකීමක් අපට නැත. එහෙත් ඔබ සමඟ නිවසේ සිටින කෙනකුට අත තබනු ලැබුවොත්, ඔහුගේ ලේ අප හිස් පිට වේවා. 20එහෙත් අපගේ මේ කාර්යය ඔබ හෙළි කළහොත්, අපගෙන් ශපථ කරවා ගත් ඔබගේ මේ දිවුරුමෙන් අප නිදහස් යැ” යි පැවසූහ.
21එවිට ඈ, “ඔබගේ වචනවලට අනුව එලෙස ම වේවා” යි කීවා ය.
එසේ ඈ, ඔවුන් පිටත් කර හැරියා ය. ඔවුහු පිටත් ව ගියහ. ඈ, රත් පැහැති ලණුපට කවුළුවේ ගැට ගැසුවා ය.
22කඳුකරයට පිටත් ව ගිය ඔවුන් තුන් දවසක් එහි නැවතී සිටියේ ලුහුබැඳ ගියවුන් ආපසු යන තෙක් ය. ලුහුබැඳ ගිය අය මුළු මාවත ඔස්සේ සොයා බැලූ නමුදු කිසිවක් සම්බ නො විණි. 23පසුව ඒ මිනිසුන් දෙදෙනා ආපසු ගියහ. ඔවුහු කඳුකරයෙන් පහළට බැස, ගඟෙන් එතෙර වී, නූන්ගේ පුත් යෝෂුවා වෙත අවුත්, තමනට සිදු වූ සියල්ල ඔහුට පැවසූහ. 24ඔවුහු යෝෂුවා අමතමින්, “සැබවින් ම ස්වාමින්වහන්සේ ඒ මුළු දේශය අපගේ අත්වලට හසුකර දී ඇත. එපමණක් නො වේ; දේශ වාසී සියල්ලන් අප නිසා භයෙන් මිලාන වෙලා” යි පැවසූහ.

موجودہ انتخاب:

යෝෂුවා 2: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in