විනිසුරුවෝ 10

10
තෝලා
1අබිමෙලෙක්ගෙන් පසුව ඉස්සාකර් මිනිසකු වූ තෝලා, ඉශ්‍රායෙල් මුදා ගැනීමට නැගිටුණේ ය. ඔහු දෝදෝගේ පුත් පූවාගේ පුත්‍රයා ය. ඔහු වාසය කළේ එප්‍රායිම් කඳු රටේ ෂාමීර්හි ය. 2විසිතුන් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කළ ඔහු, ඉන්පසු මියැදී, ෂාමීර්හි වළලනු ලැබී ය.
යායීර්
3ඔහුගෙන් පසුව ගිලියාදීය යායීර් අවුරුදු විසිදෙකක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය. 4ඔහුට පුත්තු තිස්දෙනෙක් වූහ. ඔවුහු බූරුවන් තිස්දෙනකු පිට නැගී ගමන් ගිය අතර, ගිලියාද්හි නගර තිහක් ඔවුනට තිබිණ. අද දක්වාත් හව්වොත්-යායීර් නමින් ඒවා හැඳින් වේ. 5යායීර් මියැදුණු කල, කාමොන්හි දී ඔහු වළලනු ලැබී ය.
යෙෆ්තා
6ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළහ. ඔවුහු බාල් දේවතාවුන් ද අෂ්තොරෙත් දේවතාවියන් ද අරාම්හි දෙවිවරුන් ද සීදොන්හි දෙවිවරුන් ද මෝවබ්හි දෙවිවරුන් ද අම්මොන්වරුන්ගේ දෙවිවරුන් හා පිලිස්තිවරුන්ගේ දෙවිවරුන් ද නමදින්නට වන්හ. මෙසේ ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, උන්වහන්සේට නමස්කාර නො කළහ. 7එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ පිලිස්තිවරුන් අතටත්, අම්මොන්වරුන් අතටත් ඔවුන් පාවා දුන් සේක. 8ඔවුහු ඒ අවුරුද්දේ ඉශ්‍රායෙල්වරුන් වනසාලමින්, ඔවුන් පොඩිකර දැමූහ. යොර්දානයට නැගෙනහිරින්, අමෝරිවරුන්ගේ දේශය වූ ගිලියාද්හි දී ඔවුහු දහඅට අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුනට පීඩා කළහ. 9තවද, යූදාට එරෙහිව ද බෙන්යමින්ට එරෙහිව ද එප්‍රායිම් වංශයට එරෙහිව ද සටන් කරන පිණිස, අම්මොන්වරු ද යොර්දානෙන් එතෙර වූහ. මෙසේ ඉශ්‍රායෙල් මහත් අසීරු තත්වයකට පත් විය. 10එවිට ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේට මොර ගසමින්, “අපේ දෙවියන්වහන්සේ අත්හැර, බාල් දේවතාවුන්ට සේවය කිරීමෙන් ඔබවහන්සේට එරෙහිව අපි පව් කළෙමු” යි කීහ.
11 ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට පිළිතුරු දෙමින්, “ඊජිප්තුවරුන් ද අමෝරිවරුන් ද අම්මොන්වරුන් ද පිලිස්තිවරුන් ද 12එලෙස ම සීදොන්වරුන් ද අමලෙක්වරුන් ද මාවොන්වරුන් ද නුඹලාට පීඩා පැමිණ වූ විටදී නුඹලා උපකාර ඉල්ලා මට මොර දුන් කල, ඔවුන්ගේ අත්වලින් මම නුඹලා ගලවා නො ගතිම් ද? 13එහෙත් නුඹලා මා පිටුදැක, වෙනත් දෙවිවරුනට සේවය කළාහු ය. එබැවින් තවදුරටත් මා නුඹලා ගලවන්නේ නැත. 14නුඹලා තෝරාගත් දෙවිවරුන් වෙත ගොස්, මොර ගසනු. නුඹලා කරදරයේ වැටුණු විට, ඔවුහු ම නුඹලා ගලවා ගනිත්වා!” යි පැවසූ සේක.
15එහෙත් ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේ අමතමින්, “අපි පව් කළෙමු. වඩා හොඳයයි ඔබට පෙනෙන කවර දෙයක් වුව, අපට කළ මැනවි. එහෙත් දැන්, අනේ අද දවසේ අප මුදා ගත මැනව” යි ඉල්ලූහ. 16ඉන්පසු තමන් අතරෙහි වූ විදේශීය දෙවිවරුන් පහ කර දැමූ ඔවුහු, ස්වාමින්වහන්සේට සේවය කරන්නට වන්හ. ඉශ්‍රායෙල්ගේ දුඃඛිත භාවය උන්වහන්සේට තවදුරටත් ඉසිලිය නො හැකි විය.
17යුද්ධයට කැඳවනු ලැබ, අම්මොන්වරු ගිලියාද්හි කඳවුරු ගසා ගත්හ. ඉශ්‍රායෙල්වරු එක් රැස් වී, මිස්පාහි කඳවුරු ගසා ගත්හ. 18ගිලියාද් ජන නායකයෝ එකිනෙකා අමතමින්, “අම්මොන්වරුන්ට විරුද්ධ ව පළමු ව සටන දියත් කරන්නා, ගිලියාද් සියලු වාසීන්ගේ නායකයා වන්නේ යැ” යි කීහ.

موجودہ انتخاب:

විනිසුරුවෝ 10: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in