උත්පත්ති 4

4
කායින් හා ආබෙල්
1ආදම් තම බිරිඳ වන ඒව සමඟ එක් වුණේ ය. ඈ ගැබ් ගෙන, කායින් බිහි කළා ය. “ස්වාමින්වහන්සේගේ පිහිටෙන් මම මනුෂ්‍යයකු ලබා ගතිමි” යි ඈ කීවා ය. 2පසුව ඈ, කායින්ගේ සහෝදර ආබෙල් බිහි කළා ය.
ආබෙල් සත්ව පාලකයෙක් විය. කායින් භූමිය වගා කරන්නෙක් විය. 3කලකට පසු, කායින් පොළොවේ පලදාවෙන් කොටසක්, ස්වාමින්වහන්සේට පඬුරක් වශයෙන් ගෙන ආවේ ය. 4එහෙත් ආබෙල් තම රංචුවේ කුලුඳුලන්ගෙන් හා උන්ගේ හොඳ ම කොටස්වලින් තම පඬුර ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ආබෙල් ද ඔහුගේ පඬුර ද දෙස ප්‍රසාදයෙන් බැලූ සේක. 5එහෙත් කායින් ද ඔහුගේ පඬුර ද දෙස උන්වහන්සේ ප්‍රසාදයෙන් බැලුවේ නැත. එබැවින් කායින් තදින් කිපිණ. ඔහුගේ මුහුණ නො සතුටු විණ.
6එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “නුඹ කිපී සිටින්නේ මන්ද? නුඹේ මුහුණ නො සතුටු ව තිබෙන්නේ මන්ද? 7හරි දේ කරන්නේ නම්, නුඹත් නො පිළිගැනේ ද? එහෙත් නුඹ හරි දේ නො කරන කල, පාපය දොරකඩ ලැග, මාන බලමින් සිටී. එහි ආශාව නුඹ අල්ලා ගැනීමයි. එහෙත් නුඹ එය දමනය කළ යුතු යැ” යි පැවසූ සේක.
8ඉක්බිති කායින් තම සහෝදර ආබෙල්ට කතා කළේ ය.#4:8 ඇතැම් හෙබ්‍රෙව්, ග්‍රීක් හා ලතින් පිටපත්වල, අපි පිටත කෙතට යමු යන වශයෙන් ද සඳහන් වේ. ඔවුන් කෙතේ සිටින අතරේ, තම සහෝදර ආබෙල්ට පහර දුන් කායින් ඔහු මරා දැම්මේ ය.
9එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “ඔබේ සහෝදර ආබෙල් කොහේ දැ?” යි ඇසූ සේක.
“මා දන්නේ නැතැ” යි පිළිතුරු දුන් ඔහු, “මගේ සහෝදරයාගේ රැකවලා මා දැ?” යි ඇසී ය.
10එවිට ස්වාමින්වහන්සේ “නුඹ කර තිබෙන්නේ කුමක් ද? නුඹේ සහෝදරයාගේ ලේවල හඬ පොළොවේ සිට මට මොර ගසයි. 11නුඹේ අතින් වැගිරුණු නුඹේ සහෝදරයාගේ ලේ පිළිගැනීමට මුව විවර කළ පොළොවේ ශාපයකට නුඹ යටත්; 12නුඹ පොළොව වගා කරන කල, පොළොව තවදුරටත් එහි සාරවත්කම නුඹට උපද්දවා නො දෙයි. නුඹ ස්ථිර පදිංචියක් නැතිව, මිහි පිට ඉබාගාතෙ ඇවිදිනු ඇතැ” යි පැවසූ සේක.
13කායින් ස්වාමින්වහන්සේ අමතමින්, “මගේ දඬුවම මට දරන්නට හැකිවාටත් වඩා වැඩියි. 14අහෝ! අද දවසේ ඔබවහන්සේ මේ බිමින් මා පලවා හරින සේක. ඔබේ අබිමුවින් මම සඟවනු ලබන්නෙමි. ස්ථිර පදිංචියක් නැතිව, මා මිහි පිට ඉබාගාතෙ ඇවිදිනු ඇත. මා හමුවන කවරෙක් නමුත් මා මරා දමතැ” යි කීවේ ය.
15එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “එසේ නො වේ. යමෙක් කායින් මැරුවහොත්, එමෙන් හත් වරක් ඔහුගෙන් පළිගනු ලැබේ යැ” යි පැවසූ සේක. කායින් හමුවන කවරකු විසින් හෝ ඔහු මරනු නො ලබන පිණිස, ස්වාමින්වහන්සේ කායින් මත සලකුණක් කළ සේක. 16එබැවින් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් කායින් ඉවත් ව ගියේ ය. ඒදනට පෙරදිග නොද් දේශයෙහි ඔහු වාසය කළේ ය.
17කායින් තම බිරිඳ හා එක් වුණේ ය. ඈ ගැබ් ගෙන, ඒනොක් බිහි කළා ය. ඉන්පසු ඔහු නුවරක් ගොඩ නගා, තම පුත් ඒනොක්ගේ නම ඊට තැබී ය. 18ඒනොක්ට දාව ඊරාද් උපන්නේ ය. ඊරාද්, මෙහුයායෙල්ගේ පියා ය. මෙහුයායෙල්, මෙතුෂායෙල්ගේ පියා ය. මෙතුෂායෙල්, ලාමෙක්ගේ පියා ය.
19ලාමෙක් ස්ත්‍රීන් දෙදෙනකු ආවාහ කර ගත්තේ ය. එක් තැනැත්තියකගේ නම ආදා ය. අනෙක් තැනැත්තියගේ නම සිල්ලා ය. 20ආදාගෙන් යාබාල් උපත ලැබී ය. කූඩාරම්වල වෙසෙන්නවුන්ගේ ද සත්ව සම්පත් ඇත්තවුන්ගේ ද ආදි පියා ඔහු ය. 21ඔහුගේ සහෝදරයාගේ නම යූබාල් ය. වීණා හා නළා වාදකයින්ගේ ආදිතමයා ඔහු ය. 22සිල්ලා ද තූබල්-කායින් නමින් පුතකු බිහි කළා ය. ලෝකඩ හා යකඩවලින් සියලු ආකාරයේ උපකරණ සාදන කර්මාන්තකරුවන්ගේ ආදිතමයා, ඔහු ය. තූබල්-කායින්ගේ සොහොයුරිය නාමා ය.
23තම භාර්යාවන් ඇමතූ ලාමෙක්,
“ආදා, සිල්ලා, මට සවන් දෙන්න.
ලාමෙක්ගේ භාර්යාවනි, මගේ වචන අසන්න.
මට තුවාල කළ නිසා මිනිසකු ද
මට පහර දුන් නිසා තරුණයකු ද මම මරා දැමුවෙමි.
24කායින් නිසා හත් වාරයක් පළිගැනේ නම්,
ලාමෙක් නිසා හැත්තෑහත් වාරයකි” යි කීවේ ය.
25ආදම් තම බිරිඳ සමඟ යළි එක් වුණේ ය. ඈ පුතකු බිහි කර, “කායින් අතින් මළ ආබෙල් වෙනුවට දෙවියන්වහන්සේ මට වෙනත් පුතකු දුන් සේකැ” යි කියා, ඔහුට සෙත් යන නම තැබුවා ය. 26සෙත්ට ද පුතකු උපන්නේ ය. ඔහුට ඒනොෂ් යන නම තබන ලදී.
මිනිසුන් ස්වාමින්වහන්සේගේ නාමය කියා යදින්නට පටන් ගත්තේ එකල්හි දී ය.

موجودہ انتخاب:

උත්පත්ති 4: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in