නික්මයාම 17
17
පර්වතයෙන් වතුර
1මුළු ඉශ්‍රායෙල් ජන සමූහයා සීන් කාන්තාරයෙන් පිටත් ව, ස්වාමින්වහන්සේගේ අණ පරිදි, තැනකින් තැනකට ගමන් ගත්හ. ඔවුහු රෙෆීදිම්හි කඳවුරු ගසා ගත් නමුදු, ජනතාවට බීමට ජලය එහි නො විණ. 2එබැවින් ඔවුහු මෝසෙස් සමඟ රණ්ඩු කරමින්, “අපට බොන්නට වතුර දෙනු” යි කීහ.
මෝසෙස් පිළිතුරු දෙමින්, “නුඹලා මා සමඟ රණ්ඩු කරන්නේ මොකද? නුඹලා කුමක් නිසා ස්වාමින්වහන්සේ පරීක්ෂා කරනවා දැ?” යි කීවේ ය.
3එහෙත් දිය පිපාසිත වූ ජනතාව, මෝසෙස්ට එරෙහිව කොඳුරමින්, “අපත්, අපේ දරුවනුත්, අපේ සත්ව සම්පතත් පිපාසයෙන් මරා දමන්නට, නුඹ ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවේ කුමට දැ?” යි කීහ.
4එවිට මෝසෙස් ස්වාමින්වහන්සේට මොර ගසමින්, “මේ මිනිස්සුන් සමඟ මා මොනවා කරන්න ද? ඔවුන් දැනටමත් මට ගල් ගසන්නට ලැහැස්ති යැ” යි පැවසී ය.
5 ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “ජනයාට මදක් පෙරටුවෙන් ගමන් කරමින්, ඉශ්‍රායෙල් වැඩිහිටියන් කීප දෙනකු ද කැටිව, නයිල් ගඟට ඔබ ගැසූ සැරයටිය ඔබේ අතින් ගෙන, යන්න. 6ඔන්න! මම හොරේබ්හි පර්වතය පිට ඔබ ඉදිරියේ එහි සිටින්නෙමි. පර්වතයට ගසන්න; එවිට ජනයාට බීමට ජලය එයින් නික්ම එතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිහිටියන්ගේ ඇස් හමුවේ එසේ කළේ ය. 7ඉශ්‍රායෙල් ජනයා කලහ කළ නිසාත්, “ස්වාමින්වහන්සේ අප සමඟ වේ ද? නො වේ ද?” කියමින් ඔවුන් ස්වාමින්වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඔහු එම ස්ථානය මස්සා#17:7 මස්සා එනම් සෝදිසි කිරීම හා මෙරීබා#17:7 මෙරීබා එනම් රණ්ඩු කිරීම යැයි හැඳින් වී ය.
අමලෙක් පරාජය කරනු ලැබීම
8අමලෙක්වරු අවුත්, රෙෆීදිම්හි දී ඉශ්‍රායෙල්වරුන්ට පහර දුන්හ. 9එවිට මෝසෙස් යෝෂුවාට කතා කොට, “අපට මිනිසුන් තෝරා ගෙන, අමලෙක් හා සටනට පිටත් වන්න. හෙට මම දෙවියන්වහන්සේගේ සැරයටියත් අතැතිව, හෙල මුඳුනේ සිටගන්නෙමි” යි කීවේ ය.
10මෙසේ යෝෂුවා තමාට මෝසෙස් අණ කළ පරිදි, අමලෙක්වරුන් හා සටන් වැදුණු අතර මෝසෙස් ද ආරොන් ද හූර් ද හෙල මුඳුනට නැගුණහ. 11මෝසෙස් තම අත් ඔසවාගෙන සිටි තාක්, ඉශ්‍රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහත හෙළූ කල, අමලෙක්ට ජය අත් විය. 12මෝසෙස්ගේ අත් විඩාබර විය. එවිට ඔවුහු ගලක් ගෙන, ඔහුට පිටුපසින් තැබූහ. ඔහු ඒ මත වාඩි විය. ආරොන් සහ හූර් එකකු එක් පසෙකින් ද අනෙකා අනෙක් පසින් ද සිට, ඔහුගේ අත් ඔසවා තබා ගත්හ. මෙසේ හිරු බස්නා තෙක් ම ඔහුගේ අත් ස්ථාවර ව පැවතිණ. 13එබැවින් යෝෂුවා කඩුපතින් අමලෙක් සේනාංක පැරදවී ය.
14එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “මතක සටහන් වශයෙන් මේ ගැන පොතක ලියා, එය යෝෂුවාට ඇසෙන්නට සලස්වන්න. මන්ද අමලෙක් පිළිබඳ මතකය මම අහස යටින් මුළුමනින් පිස දමන්නෙමි” යි පැවසූ සේක.
15මෝසෙස් පූජාසනයක් ගොඩ නගා, එයට යෙහෝවා-නිස්සී#17:15 යෙහෝවා-නිස්සී හෙවත් යහ්වේ-නිස්සී එනම් ස්වාමින්වහන්සේ මගේ ධජය ය. යයි නම් තැබී ය. 16“ස්වාමින්වහන්සේගේ සිහසුනට අත් ඔසවනු ලැබූ බැවින් පරපුරින් පරපුරට ස්වාමින්වහන්සේ අමලෙක්ට එරෙහිව යුද්ධ වදින සේකැ” යි ඔහු පැවසී ය.
موجودہ انتخاب:
නික්මයාම 17: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.