නික්මයාම 15

15
මෝසෙස්ගේ ගීය
1ඉන්පසු මෝසෙස් හා ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මේ ගීතය ගායනා කරමින් මෙසේ කීහ:
ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි.
මන්ද උන්වහන්සේ මහිමාන්විත ව ජය ගත් සේක.
උන්වහන්සේ අසු ද උගේ අසරුවා ද
මුහුදේ හෙළූ සේක.
2ස්වාමින්වහන්සේ මගේ ශක්තියයි; මගේ ගීතයයි.
උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක.
උන්වහන්සේ මගේ දෙවියන්වහන්සේ, ය. මම උන්වහන්සේ පසසන්නෙමි;
උන්වහන්සේ මගේ පියාගේ දෙවියන්වහන්සේ, ය. මම ඉහළින් ම උන්වහන්සේ වර්ණනා කරමි.
3 ස්වාමින්වහන්සේ රණ ශූරයෙක.
ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමය ය.
4පාරාවෝගේ යුද්ධ රථ හා හමුදා,
උන්වහන්සේ මුහුදේ හෙළා ලූ සේක.
ඔහුගේ හොඳ ම නිලධාරීහු
රතු මුහුදේ ගිලී ගියාහු ය.
5ගැඹුරු ජල කඳ ඔවුන් වසා ගත්තේ ය;
පත්ලට ම උන් කිඳා බැස්සේ, ගලක් පරිද්දෙනි!
6අහෝ ස්වාමින්වහන්ස,
බලයෙන් තේජාන්විත ය, ඔබගේ දකුණු අත,
අහෝ ස්වාමින්වහන්ස,
සතුරන් විසුරුවා දැමී ය, ඔබගේ දකුණු අත.
7“ඔබගේ තේජශ්‍රීයේ මහත්කමින් ඔබ,
ඔබට එරෙහිවූවන් බිඳ හෙළූ සේක.
ඇවිළෙන ඔබේ කෝපය, ඔබ මුදා හළ කල්හි
එයින් උන් දැවී ගියේ ඉපනැලි පරිද්දෙනි.
8ඔබගේ නාස් පුඩුවල හුස්මේ සැරකමින්
ජල කඳ උඩට ගොඩ ගැසිණි.
ප්‍රචණ්ඩ ජල කඳ තාප්පයක් සේ සිට ගත්තේ ය.
මුහුද මැද ගැඹුරු ජල කඳ මිදුණි.
9සතුරා උදම් අනමින්,
‘මම ලුහුබැඳ යමි; උන් අල්ලාගමි.
මම කොල්ලය බෙදමි.
ඔවුන් ගැන මගේ මනදොළ සපුරා ගනිමි.
මගේ අසිපත ඇද,
මගේ අතින් ඔවුන් වනසන්නෙමි’ යි කී ය.
10එහෙත් ඔබ ඔබේ හුස්ම පිම්ඹ කල,
මුහුද ඔවුන් වසා ගත්තේ ය.
බලගතු ජල කඳ තුළට
ඔවුන් ගිලී ගියේ ඊයම්-බරු මෙනි.
11දෙවිවරුන් අතරේ
ඔබ හා සමාන අන් කවුරු ද?
අහෝ ස්වාමින්වහන්ස!
ශුද්ධත්වයෙන් තේජස් වූත්,
මහිමයෙන් භයංකර වූත්, හාස්කම් කරන්නාවූත්
ඔබ වගේ තව කවුරු ද?
12“ඔබේ දකුණත ඔබ දිගු කළ විට
පොළොව ඔවුන් ගිලගත්තේ ය.
13ඔබ මිදූ ජනයාට නොමියෙන ඔබේ ප්‍රේමයෙන්
ඔබ ම මග පෙන්වන්නාහ.
ඔබේ ශුද්ධ නිවස්නය වෙත ඔබේ ම ශක්තියෙන්
ඔබ ඔවුනට මග පෙන්වන්නාහ.
14ඒ ඇසූ ජාතීහු වෙවුලන්නෝ ය.
සන්තාපය පිලිස්තිවාසීන් අල්ලා ගන්නේ ය.
15ඒදොම් ප්‍රධානීහු ත්‍රස්ත වූවාහු ය.
මෝවබ් නායකයෝ වෙවුලීමට හසු වූවෝ ය.
කානානි වාසී සියල්ලෝ දියවී ගියෝ ය.
16භීතිය හා සන්ත්‍රාසය, ඔවුන් පිට පතිත වන්නේ ය.
ඔබගේ ජනයා පසු කර යන තෙක් අහෝ ස්වාමින්වහන්සේ
ඔබ මිල දී ගත් ජනයා නික්ම යන තෙක්,
ඔබගේ බාහුවේ බලය නිසා,
ගලක් මෙන් ඔවුහු නිශ්චල වන්නෝ ය.
17අහෝ ස්වාමින්වහන්ස, ඔබේ වාසයට ඔබ තැනූ ස්ථානය ද
අහෝ ස්වාමිනි, ඔබේ අත්වලින් ඔබ පිහිටූ ශුද්ධස්ථානය ද
වන ඔබගේ උරුමයේ කන්ද වෙත
ඔබ ඔවුන් ගෙනවුත්, එහි සිටුවන සේක.
18“සදහටම-සදාතනිකව
ස්වාමින්වහන්සේ රජකම් කරන්නාහ.”
19පාරාවෝගේ අශ්වයින් ද යුද්ධ රථ හා අසරුවන් ද මුහුදට පිවිසි කල, ස්වාමින්වහන්සේ ඔවුන් පිටට මුහුදු ජලය ආපසු ගලා එන්නට සැලසූ සේක. එහෙත් ඉශ්‍රායෙල් ජනයා, මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත්හ. 20එවිට ආරොන්ගේ සහෝදරී වූ මිරියාම් දිවැසිවරිය රබානක් අතින් ගත්තා ය. සෙසු සියලු වනිතාවෝ ද ඇය අනුගමන කරමින්, කිකිණි රබන් ගෙන, නටන්නට වන්හ. 21මිරියාම් ඔවුනට මෙසේ ගායනා කළා ය:
ස්වාමින්වහන්සේට ගී ගයන්න.
මන්ද උන්වහන්සේ මහිමාන්විත ව ජය ගත් සේක.
උන්වහන්සේ අසු ද උගේ අසරුවා ද
මුහුදේ හෙළූ සේක.”
මාරාහි වතුර හා ඒලිම්
22ඉන්පසු මෝසෙස් රතු මුහුදේ සිට ඉශ්‍රායෙල් ජනයාට මග පෙන්වී ය. මෙසේ ඔවුහු ෂූර් කාන්තාරයට පැමිණියහ. තුන් දවසක් කාන්තාරය ඔස්සේ ගමන් ගත් ඔවුනට ජලය හමු නො විණ. 23ඔවුන් මාරා වෙත ළඟා වූ කල, මාරාහි ජලය තිත්ත වූ නිසා, ඒවා ඔවුනට බීමට නො හැකි විය. එතැන මාරා#15:23 මාරා එනම් තිත්ත යැයි අමතනු ලබන්නේ එබැවිනි. 24එනිසා ජනයා මෝසෙස්ට එරෙහිව මැසිවිලි නගමින්, “මොනවද අප බොන්නේ?” යි ඇසූහ.
25එබැවින් මෝසෙස් ස්වාමින්වහන්සේට මොර ගැසී ය. ස්වාමින්වහන්සේ ඔහුට ගහක් පෙන් වූ සේක. ඔහු එය දියට දැමී ය. එවිට ජලය මිහිරි විය.
ස්වාමින්වහන්සේ එහිදී ඔවුන්ට නියෝගයක් ද පනතක් ද දුන් සේක. එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂා කළ සේක. 26උන්වහන්සේ කතා කරමින්, “ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට ඔබ ඕනෑකමින් සවන් දී, උන්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කරන්නේ නම්, උන්වහන්සේගේ ආඥාවලට ඔබේ සැලකිල්ල යොමා, උන්වහන්සේගේ නියෝග සියල්ල රක්ෂා කරන්නේ නම්, ඊජිප්තුවරුන් පිටට මා පැමිණ වූ එක රෝගයකුදු මා ඔබ පිට පමුණුවන්නේ නැත. මන්ද ඔබ සුව කරන ස්වාමින්වහන්සේ#15:26 ඔබ සුව කරන ස්වාමින්වහන්සේ එනම් යෙහෝවා-රොෆේකා හෙවත් යහ්වේ-රොෆේකා මම යැ” යි පැවසූ සේක.
27ඉන්පසු ඔවුහු ඒලිම් වෙත ළඟා වූහ. එහි දිය උල්පත් දොළහක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබිණ. ජලය අද්දර ඔවුහු කඳවුරු බැඳ ගත්හ.

موجودہ انتخاب:

නික්මයාම 15: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in