Romans 8:1-21

එබැවින් දැන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නවුන් දඬුවමට යටත් කිරීමක් නැත. මන්ද ජීවනයේ ආත්මයාණන්ගේ නීතිය, පාපයේ හා මරණයේ නීතියෙන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ, ඔබ නිදහස් කර ඇති බැවිනි. මාංසයේ දුබලතාව මගින් දහම් ව්‍යවස්ථාවට කළ නො හැකි වූ දේ, දෙවියන්වහන්සේ කළේ, ස්වකීය පුත්‍රයාණන් පාපිෂ්ඨ මාංසයේ සමානකමින් හා පාපය උදෙසා එවා, මාංසයේ පාපය දඬුවමට යටත් කිරීමෙනි. එසේ කළේ, මාංසයට අනුව නො ව, ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අප තුළ, ව්‍යවස්ථාවේ දැහැමි නියමයන් ඉටු වන පිණිස ය. මන්ද මාංසයට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, මාංසික දේ මත ය. ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, ආත්මයාණන්ගේ දේ මත ය. මාංසයේ මනස රැඳවීම මරණයයි. එහෙත් ආත්මයාණන් මත මනස රැඳවීම, ජීවනය හා සාමයයි. මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන් ම යටත් කළ නො හැකි ය. දෙවියන්වහන්සේ සතුටු කරන්නට මාංසයේ සිටින්නන්ට බැරි ය. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළ වසන සේක් නම්, ඔබ මාංසය තුළ නො ව, ආත්මයාණන් තුළ ය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් නැති කවරකු වුවත්, උන්වහන්සේට අයිති නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ සිටින සේක් නම්, පාපය නිසා ශරීරය මැරී ඇතත්, ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් වන්නේ ය. යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මගින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක. එබැවින් සහෝදරයිනි, අපි ණයකරුවන් ව සිටින්නෙමු; ඒ, මාංසික ව ජීවත්වීමට මාංසයට නො වේ. මන්ද මාංසයට අනුව ජීවත් වෙතොත් ඔබ මියෙනු ඇත. එහෙත් ශාරීරික ක්‍රියා, ආත්මයාණන් මගින් නසා දමනවා නම්, ඔබ ජීවත් වනු ඇත. මන්ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මග පෙන්වනු ලබන සියල්ලෝ, දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ය. මන්ද ඔබ ලබා ඇත්තේ, නැවත බිය ගෙන දෙන වහල් භාවයේ ආත්මයක් නො වේ. ඔබ ලබා ඇත්තේ පුත්‍රයින් බවට පත් කරන ආත්මයාණන් ය; උන්වහන්සේ මගින් අපි, “අබ්බා, පියාණෙනි!” කියා හඬ ගසන්නෙමු. ආත්මයාණන් ම අපගේ ආත්මය සමඟ එක් ව, අප දෙවියන්වහන්සේගේ දරුවන් වගට සාක්ෂි දරන සේක. දරුවෝ උරුමකරුවෝ ය; දෙවියන්වහන්සේගේ උරුමකරුවෝ ය; ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමකරුවෝ ය; එසේ වන්නේ, උන්වහන්සේ සමඟ තේජසට පමුණුවනු ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක් විඳීමට හවුල් වීමෙන් ය. මේ වත්මනේ අප විඳින දුක් වේදනා, අපට එළිදරවු වන්නට තිබෙන තේජස සමඟ, සසැඳීමටවත් තරම් නො වෙතැයි මම සිතමි. මන්ද දෙවියන්වහන්සේගේ පුත්‍රයින් එළිදරවු කිරීම දෙස, සමස්ත මැවිල්ල ම අපේක්ෂා සහගත ව ආශාවෙන් බලා සිටී. මන්ද මැවිල්ල නිෂ්ඵල භාවයට ඇද දමනු ලැබ ඇත්තේ, එහි කැමැත්තෙන් නො ව, එය බලාපොරොත්තුවෙන් යටත් කළ තැනැත්තාණන් නිසා ය. එනම්, මැවිල්ල ජරාපත් වීමේ වහල් බැම්මෙන් මුදනු ලැබ, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ තේජවත් නිදහස අත්කර දීමට ය.
රෝම 8:1-21