ගීතාවලිය 42:1-8

මුවා දිය දොළවලට ආශාවන්නා සේ, මගේ ජීවය දැඩි සේ ඔබ ගැන ආශා වෙයි, අහෝ දෙවියන්වහන්ස. දෙවියන්වහන්සේ වෙත, ජීවමාන දෙවියන්වහන්සේ වෙත, මගේ ජීවාත්මය පිපාසිත වෙයි. අහෝ මම කවදා දෙවියන්වහන්සේ අබියස පෙනී සිටින්නෙම් ද? “කෝ! නුඹේ දෙවියන්වහන්සේ කොහේ දැ?” යි මිනිසුන් මුළු දවස පුරා මට කියන කල, කඳුළු පමණි, දිවා රැයේ මට ආහාර වූයේ. මගේ ආත්මය වගුරුවමින් ආවර්ජන කරන කල, මේ දෑ මට සිහියට නැගේ: ජය ගොස නගමින්, තුති ගී ගයමින්, උත්සව පවත්වන නඩයක් මැද්දේ දෙවියන්වහන්සේගේ ගෘහය වෙත, පෙරහැරට පෙරටුවෙන් ගිය හැටි! එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද? කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද? දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න. මන්ද මම තවමත් ප්‍රශංසා කරමි, මගේ ගැලවුම්කරු වූ දෙවියන්වහන්සේට. අධෛර්යට පත් වෙයි මා තුළ මගේ ආත්මය; එබැවින් යොර්දාන් ගංගා දේශයේ සිට, හෙර්මොන් කඳු මුදුනේ සිට, මිසාර් කන්දේ සිට, මම ඔබ සිහි කරන්නෙමි. ඇදහැලෙනා ඔබගේ දිය ඇලිවල ඝෝෂා හඬ මැද, ගැඹුර, ගැඹුරට හඬ ගසයි; ඔබගේ රළ හා මහ තරංග මා වෙළා, වසා ගත්තේ ය. දහවලේ ස්වාමින්වහන්සේ නොමියෙන තම ප්‍රේමය පානා සේක; රැයේ උන්වහන්සේගේ ගීතය මා ගයන්නේ, මගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක් වශයෙනි.
ගීතාවලිය 42:1-8