ගීතාවලිය 27:4-9

ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි; ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි; එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්, දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස මගේ ජීවිතයේ සියලු දවස්හි, ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය. මන්ද, විපත්ති දවසේ, උන්වහන්සේ තම වාසභවනෙහි මා සඟවා තබන සේක; උන්වහන්සේගේ කූඩාරම් සෙවණේ මට රක්ෂාවරණ දෙමින්, පර්වතයක් පිට මා ඔසවා තබන සේක. එකල, මා වට කොට සිටින සතුරනට ඉහළින්, මම ජයග්රාහී ව හිස ඔසවා සිටිමි. මම ප්රීති ඝෝෂා නගමින්, උන්වහන්සේගේ කූඩාරමෙහි යාග පූජා පුදමි. මම ගී ගයමින්, ස්වාමින්වහන්සේට සංගීත නගන්නෙමි. මා හඬ ගසනා කල, මට සවන් දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, මට දයානුකම්පා වී, මට උත්තර දුන මැනව. ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය; ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි. මා වෙතින් ඔබේ මුහුණ නො සැඟවුව මැනව; කෝපයෙන් ඔබේ මෙහෙකරුවා පලවා නො හැරිය මැනව; කවදත් මගේ උපකාරයට සිටියේ ඔබ ය. මා බැහැර නො කළ මැනව, මා අතහැර නො දැමුව මැනව, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්ස.
ගීතාවලිය 27:4-9