ගීතාවලිය 19:1-11

අහස, දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි; උන්වහන්සේගේ දෑතේ වැඩ විදහා දක්වන්නේ, ගුවනයි. දවසක් නෑර ඊළඟ දවසට ඒ ගැන පවසයි; රැයකින්, රැයකට නිරතුරු ඒ දැනගැන්ම බෙදයි. ඔවුන්ගේ කතාවට වදනක්, බසක්, ඇසෙනා කටහඬක් නැත. එහෙත්, ඔවුන්ගේ පණිවුඩය, පොළොව මුළුල්ලේ පැතිරේ; ඔවුන් පවසන වචන, ලොව එහා කෙළවරටත් දිවේ. උන්වහන්සේ හිරුට අහසේ වාස-භවනක් තනා දුන් සේක. හිරු තම මඟුල් මණ්ඩපයෙන් බැස එන මනාලයකු වැන්න; තම ඉසව්ව දිවීමට ලොල් වන ධාවන ශූරයකු වැන්න. ඔහු අහසේ එක් දිගන්තයකින් නැගී, අනෙක් දිගන්තය තෙක් තම චාරිකාව අරඹයි. ඔහුගේ තාපය නො වදින කිසිවක් නැත. ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිපූර්ණ ය; ජීවය යළි පුබුදන්නේ ය. ස්වාමින්වහන්සේගේ පනත් විශ්වසනීය ය. එය අනුවණ ජනතාව ප්‍රඥාවත් කරයි. ස්වාමින්වහන්සේගේ ශික්ෂා සෘජු ය; හදවතට ප්‍රීතිය ගෙන දෙයි. ස්වාමින්වහන්සේගේ ආඥා සුපැහැදිලි ය; නෙතට එළිය ගෙන දෙයි. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම, පවිත්‍ර ය; සදා පවතින්නේ ය. ස්වාමින්වහන්සේගේ නියමයන්, සත්‍යය ය; මුළුමනින් ම ධර්මිෂ්ඨ ය. ඒවා රත්රන්වලට වඩා අගනේ ය; අමිශ්‍ර රන් රැසකටත් වඩා වටනේ ය. ඒවා මී පැණියට වඩා මිහිරි ය; මී වදයෙන් ම ගත් මී පැණියට වඩා මිහිරි ය. තවද, ඔබේ සේවකයාට අනුශාසනා ලැබෙන්නේ ද එමඟිනි. ඒවා පිළිපැදීමෙන් ඉමහත් ඉටු විපාක අත්වෙයි.
ගීතාවලිය 19:1-11