හිතෝපදේශ 15:1-17

මෘදු පිළිතුරකින් උදහස පහ වේ; එහෙත් රළු වචනයකින් කෝපය ඇවිස්සේ. ප්‍රඥාවතාගේ දිව මනාව දැනුම කියා දෙයි; එහෙත් අඥානයාගේ මුවින් මෝඩකම ගලා යයි. ස්වාමින්වහන්සේගේ ඇස් හැම තැනක ම සිට දුදන සුදන දෙගොල්ල දෙස ම විමසිල්ලෙන් පසුවෙයි. සුවදායක මුදු වදන් පවසන දිව ජීවන වෘක්ෂයකි; එහෙත් රැවටිලිකාර දිව ආත්මය තළා දමයි. අඥානයා තම පියාගේ උපදෙස හෙළා දකියි; එහෙත් හික්මවීමට සිත යොමුකරන්නා නැණවත් ය. දමිටුන්ගේ නිවසෙහි ඇති සම්පත් බොහෝ ය; එහෙත් දුෂ්ටයින්ගේ ආදායම ඔවුන්ට විපත් ගෙනේ. ප්‍රඥාවතාගේ තොල් අතරින් දැනුම විහිදේ; එහෙත් අඥානයින්ගේ හදවත් එසේ නො වේ. දුෂ්ටයින්ගේ යාග පූජා ස්වාමින්වහන්සේ පිළිකුල් කරන සේක; එහෙත් ඍජු ගති ඇත්තන්ගේ යාච්ඤාවලට උන්වහන්සේ ප්‍රසන්න වන සේක. දුෂ්ටයින්ගේ මාර්ගය ස්වාමින්වහන්සේ පිළිකුල් කරන සේක; එහෙත් දමිටුකම ලුහුබැඳ යන්නන්ට උන්වහන්සේ ප්‍රේම කරන සේක. හරි මග හැර යන්නන්ට දැඩි ශික්ෂණයක් නියමිත ව ඇත; හික්මවනු ලැබීමට වෛර කරන්නා නසිනු ඇත. ෂෙයෝලය ද අබද්දොන් ද ස්වාමින්වහන්සේඉදිරියෙහි විවෘත ව ඇති කොට, මිනිස් වර්ගයාගේ හදවත් ඊට කොපමණ වැඩියෙන් උන්වහන්සේට ඇරී නො තිබේ ද? ගරහන්නා තරවටුව රුස්සන්නේ නැත; ඔහු ප්‍රඥාවතුන් වෙත යන්නේ නැත. ප්‍රීතිමත් හදවත මුහුණ සතුටින් බබළවයි; එහෙත් සිත් සන්තාපය ආත්මය තළා දමයි. නුවණැති හදවත දැනුම සොයයි; එහෙත් අඥානයාගේ මුඛය මෝඩකම වඩවයි. පීඩා විඳින්නන්ට හැමදාමත් දුක්ඛිත ය; එහෙත් සතුටු සිත නිරන්තරයෙන් මංගල සිරි විඳී. කරදර-විපත් සමඟ මහ ධන සම්පත්වලට වඩා ස්වාමින්වහන්සේට භයවීම සමඟ ස්වල්පයක් හොඳ ය. ද්වේෂයෙන් යුතු ව රසමසවුළු බුදිනවාට වඩා ප්‍රේමයෙන් යුතු ව එළවළු ටිකක් හොඳ ය.
හිතෝපදේශ 15:1-17