Proverbs 11:1-16

වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි; එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය. උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ; එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ. ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ. උදහසේ දවසේදී ධන සම්පත් පලක් නො වේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් නිදහස් කරයි. නිදොස් අයගේ දමිටුකම, ඔවුන්ට සෘජු මාවත් තනා දෙයි; එහෙත් දුෂ්ටයින් ඔවුන්ගේ ම දුෂ්ටකමින් ඇද වැටේ. ඍජු ගති ඇත්තවුන්ගේ දමිටුකම, ඔවුන් නිදහස් කරයි; එහෙත් ද්‍රෝහීහු තෘෂ්ණා උගුලට හසු වෙති. දුෂ්ට මිනිසා මැරුණු කල, ඔහුගේ බලාපොරොත්තු සුන් වේ; ඔහුගේ ශක්තියෙන් ඔහු අපේක්ෂා කළ සියල්ල පහව යේ. දමිටු මිනිසා විපත්තියෙන් මිදේ; ඒ වෙනුවට දුෂ්ට මිනිසා පිට විපත්තිය පැමිණේ. අභක්තිකයා තම මුවින්, තම අසල්වැසියා විනාශ කරයි; එහෙත් දමිටු මිනිසා නුවණෙහි පිහිටා ඉන් ගැලවී යයි. දමිටුන් දියුණු වන කල නගරය ප්‍රීති වෙයි; අදමිටුන් වැනසී යන කල, ප්‍රීති ඝෝෂා පැතිරේ. ඍජු ගුණ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් නගරය උසස් කෙරේ; එහෙත් දුෂ්ටයින්ගේ මුඛයෙන් එය විනාශ කෙරේ. තම අසල්වැසියාට අවමන් කරන්නා අනුවණයෙකි; එහෙත් අවබෝධය ඇත්තා නිහඬ ව සිටියි. ඕපාදූප කියන තැනැත්තා රහස් හෙළි කරයි; එහෙත් විශ්වාසවන්ත මිනිසා රහසක් රැක ගනී. නිසි මග පෙන්වීමක් නැති විට ජාතියක් ඇද වැටේ; එහෙත් අනුශාසකයන් බොහෝ වූ කල, ජයග්‍රහණය ඇත. නො දන්නා කෙනකුට ඇප වෙන්නා කරදරේ වැටෙයි; එසේ අත තබා දිවිරීම ප්‍රතික්ෂේප කරන්නා සුරක්ෂිත ය. කරුණාවන්ත කාන්තාව ගෞරවය අත්කර ගනී; එහෙත් නිර්දය මිනිසුන් අත්කර ගන්නේ ධනය පමණි.
හිතෝපදේශ 11:1-16