ශු. මතෙව් 7:7-20

“ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ. “ඔබ අතරින් කවරකු තම පුත්‍රයා රොටියක් ඉල්ලූ කල, ඔහුට ගලක් දෙයි ද? නැතහොත්, ඔහු මාළුවකු ඉල්ලූ කල, ඔහුට සර්පයකු දෙයි ද? මෙසේ නපුරු වූ ඔබ, ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊට වඩා කොපමණ හොඳ ත්‍යාග දෙන සේක් ද! අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද, ඔබත් එලෙස ම ඔවුනට කරන්න. මන්ද ව්‍යවස්ථාවත්, දිවැසිවරුනුත් එයයි. “පටු දොරටුවෙන් ඇතුළු වන්න. මන්ද විනාශය වෙත දිවෙන මාවත පළල් ය; එහි දොරටුව විසල් ය. එතුළින් ඇතුළු වන්නෝ බොහෝ ය. මන්ද ජීවනයට දොරටුව කුඩා ය; මාවත පටු ය; එය සොයාගන්නේ ස්වල්ප දෙනෙක් ය. “බොරු දිවැසිවරුන්ගෙන් පරෙස්සම් වන්න. ඔවුන් ඔබ වෙත එන්නේ බැටළු වෙසිනි. එහෙත් ඇතුළතින් ඔවුන් රුදුරු වෘකයින් ය. ඔබ ඔවුන් හැඳින ගනු ඇත්තේ ඔවුන්ගේ පලවලිනි. කටු පඳුරුවලින් මිදිවත්, කටුගස්වලින් අත්තික්කාවත් නෙළා ගත හැකි ද? එසේ ම හැම හොඳ ගසක ම, හොඳ පල හට ගැනේ; හැම නරක ගසක ම නරක පල හට ගැනේ. හොඳ ගසකට නරක පල දැරිය නො හැක. නරක ගසකට හොඳ පල දැරිය නො හැක. හොඳ පල නො දරන හැම ගසක් ම කපා හෙළා, ගින්නට ඇද දමනු ලැබේ. මෙසේ ඔවුන්ගේ පලවලින් ඔබ ඔවුන් හැඳින ගනු ඇත.
මතෙව් 7:7-20