Matthew 5:13-32

“ඔබ පොළොවේ ලුණු ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පිටත දමා, මිනිසුන්ගේ පයට පෑගෙන්නට හැර දැමීම මිස, තවත් එයින් ගත හැකි වැඩක් නැත. “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නො හැක. කිසිවකු පහනක් දල්වා, එය බඳුනකින් වසන්නේ නැත; කරන්නේ පහන් රුකක් මත තැබීම ය; එවිට නිවසේ හැම කෙනකුට ම එය එළිය දෙයි. එලෙස ම අන්‍යයන් ඔබගේ සද් ක්‍රියා දැක, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේට මහිමය දෙන පිණිස, ඔවුන් ඉදිරියේ ඔබේ එළිය බබළවන්න. “ව්‍යවස්ථාව හෝ දිවැසිවරුන් හෝ අවලංගු කරන්නට මා ආවා යයි නො සිතන්න; ඒවා සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට මා ආවා නො වෙයි. මන්ද සැබවින් ම මා ඔබට කියන්නේ, අහසත්, පොළොවත් පහව යන තෙක්, ව්‍යවස්ථාවෙන් එක් ඉස්පිල්ලක්, පාපිල්ලක් වුව කිසි සේත් පහ වී නො යන වගයි. ඉන් ඉතාම සුළු ආඥාවක් හෝ කඩ කරන, කඩ කරන්නට අන් අයට උගන්වන කවරකු නමුදු ස්වර්ග රාජ්‍යයේ ඉතා සුළු කෙනකු සේ සැලකේ. එහෙත් ඒ නියෝග පිළිපදින, පිළිපැදීමට උගන්වන කවරකු නමුත් ස්වර්ග රාජ්‍යයේ උතුම් කෙනකු සේ සැලකේ. මන්ද ඔබගේ ධර්මිෂ්ඨකම, පරිසිවරුන්ගේ හා දහම් පඬිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවන්නේ නැති නම්, කිසි කල ස්වර්ග රාජ්‍යයට ඔබ ඇතුළු වන්නේ නැත. “පුරාතන ජනයාට, ‘මිනී නො මරනු; මිනී මරන කවරකු නමුත් විනිශ්චයට යටත් යැ’ යි කියා ඇති වග ඔබ අසා තිබේ. එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය, ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය. “එබැවින් පූජාසනයේ ඔබ, ඔබේ පඬුර පුදන කල, ඔබේ සහෝදරයාට ඔබට එරෙහි යමක් වෙතැයි සිහි වුවහොත්, ඔබේ පඬුර, පූජාසනය පසෙක තබා, පළමු ව ගොස්, ඔබේ සහෝදරයා හා සමඟි වී, ඉන්පසු අවුත් ඔබේ පඬුර පුදන්න. “ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, පමා නො වී, ඔහු හා සමථයකට එළැඹෙන්න. නැතහොත් ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔබ ව සිර ගෙයි දමනු ඇත. සත්තකින් ම මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු, ඔබ ඉන් පිටතට නො එන බවයි. “ ‘පරදාර සේවනය නො කළ යුතු ය’ කියා ඇති වග ඔබ අසා ඇත. එහෙත් මා ඔබට කියන්නේ, ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරකු වුව, ඒ වන විටත්, තම හදවතින් ඇය හා පරදාර සේවනයේ යෙදී ඇති වගයි. ඔබේ දකුණු ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත දමන්න. මන්ද ඔබගේ මුළු සිරුර ම නිරයට හෙළනු ලැබීමට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම වඩා හොඳ ය. ඔබගේ දකුණු අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවතලන්න. ඔබගේ මුළු සිරුර ම නිරයට යනවාට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම ඔබට වඩා හොඳ ය. “ ‘තම භාර්යාව දික්කසාද කරන කවරකු වුව, ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යැ’ යි කියා තිබේ. එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කර ගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.
මතෙව් 5:13-32