Hebrews 6:10-20

මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත. එසේ ම ඔබ හැම කෙනකු ම අවසානය දක්වා ඔබගේ බලාපොරොත්තුවේ සම්පූර්ණ සහතිකය එම උද්යෝගයෙන් ම දරා සිටිනු දැක්ම අපගේ ආශාවයි. ඒ, ඔබ අලසයින් නො වී, ඇදහිල්ලත්, ඉවසීමත් මගින් පොරොන්දු උරුම කරගන්නවුන්ගේ ආදර්ශය අනුගමන කරන පිණිස ය. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන් ම ගැන දිවුරමින්, “මම සැබවින් ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබ වැඩි වර්ධන කරන්නෙමි” යි කී සේක. මෙසේ ආබ්‍රහම් ඉවසිලිවත් ව බලා සිට, පොරොන්දුව ලබා ගත්තේ ය. මන්ද මිනිසුන් තමනට වඩා උසස් කෙනකු ගැන දිවුරමින් දෙන දිවුරුමෙන් ඔවුන්ගේ වාද භේද සියල්ල සමථයට පත් වේ. දෙවියන්වහන්සේ එබැවින් තම අභිප්‍රායේ වෙනස් නො වන ස්වභාව පොරොන්දුවේ උරුමකරුවනට වඩා විශ්වාසදායී ව පෙන්වා දීමට ආශා වූ සේක්, එයට දිවුරුමකින් ඇප වූ සේක. එසේ කළේ, දෙවියන්වහන්සේට ම බොරු කීම කළ නො හැකි වන වෙනස් නො වන කාරණ දෙකක් මත, ආරක්ෂාව ලබන්නට පලා ආ අපට, අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව දැඩි ව අල්ලා ගැනීමට ප්‍රබල ධෛර්යයක් ලැබෙන පිණිස ය. ආත්මයට ඇති නියතවූත්, ස්ථිරවූත් නැංගුරමක් සේ අපට තිබෙන මෙම බලාපොරොත්තුව තිරයට එහායින් ඇතුළු ශුද්ධස්ථානයට ම පිවිසෙයි. මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ සදහට ම උත්තම පූජකයකු බවට පත් පසු, අප උදෙසා අප පෙර ගමන්කරු ලෙස යේසුස්වහන්සේ ගියේත් එතැනට ය.
හෙබ්‍රෙව් 6:10-20