සෙකරියා 3:1-10

සෙකරියා 3:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු ඔහු මට පෙන්වූයේ යෝෂුවා උත්තම පූජකයා, ස්වාමින්වහන්සේගේ දූතයා ඉදිරිපිට සිටගෙන සිටිනු හා ඔහුට චෝදනා කරන පිණිස සාතන් දකුණු පසෙහි සිටගෙන සිටින අයුරු ය. එවිට සාතන් ඇමතූ ස්වාමින්වහන්සේ, “සාතන්, ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! යෙරුසලම තෝරාගත් ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! මොහු ගින්නෙන් ඉවතට ඇදගත් ගිනි පෙනෙල්ලක් නො වේ දැ?” යි කී සේක. යෝෂුවා, දේව දූතයා අබියස සිටගෙන සිටියේ කිලිටි ඇඳුමින් යුතු ව ය. දේව දූතයා තමා අබියස සිටියවුන් අමතමින්, “ඔහුගේ කිලිටි ඇඳුම් ඉවත් කරනු” යි පැවසී ය. ඉන්පසු ඔහු ඇමතූ හෙතෙම, “ඔන්න, මම ඔබේ අයුතුකම් ඔබ වෙතින් පහ කළෙමි; මම ඔබට පවිත්‍ර ඇඳුම් හඳවන්නෙමි” යි කීවේ ය. එවිට මම, “ඔහුගේ හිසේ ඔවුන් පිරිසිදු තලප්පාවක් බැඳපුදෙන්” යි කීවෙමි. එකල ඔවුහු, ස්වාමින්වහන්සේගේ දූතයා පසෙකින් සිටියදී ඔහුගේ හිසේ පිරිසිදු තලප්පාවක් බැඳ, ඔහුට ඇඳුම් හැඳවූහ. ඉන්පසු ස්වාමින්වහන්සේගේ දූතයා යෝෂුවාට තදින් නියෝග කරමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඔබ මගේ මාර්ග අනුගමන කරමින්, මගේ නියමයන් ඉටු කරන්නේ නම්, ඔබ මගේ ගෘහය පාලනය ද මගේ මණ්ඩපවල බාරකාරත්වය ද ඔබට ලැබෙනු ඇත. මේ සිටගෙන සිටින්නවුන් අතරේ මෙහි ළඟා වීමේ වරම ද මම ඔබට දෙන්නෙමි.’ “ ‘දැන් සවන් දෙන්න එම්බා යෝෂුවා උත්තම පූජකය, ඔබත් ඔබ ඉදිරියෙහි හිඳ සිටින ඔබේ සහකාර පූජකයිනුත්; මන්ද ඔවුහු මතු පැමිණෙන්නට ඇති දෑහි සංකේතයෝ ය. මෙන්න! මගේ සේවකයා වූ ශාඛාව මම ගෙනෙන්නෙමි. මෙන්න! යෝෂුවා ඉදිරියේ මා විසින් පිහිටූ ගල. ඒ තනි ගල මත නෙත් හතක් ඇත. මම ඒ මත සටහනක් කැටයම් කරන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. ‘තවද මේ දේශයේ අයුතුකම් මම එක ම දවසකදී පහ කරන්නෙමි. “ ‘ඒ දවසේ ඔබ හැම කෙනෙක් ම තම මිදි වැලත්, තම අත්තික්කා ගසත් යට හිඳ ගැනීමට තම අසල්වැසියාට ඇරියුම් කරනු ඇතැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”

සෙකරියා 3:1-10 Sinhala Revised Old Version (SROV)

තවද උත්තම පූජකයාවූ යෝෂුවා ස්වාමීන්වහන්සේගේ දූතයා ඉදිරියෙහිද, ඔහුගේ එදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද සිටිනවා ඔහු මට පෙන්නුවේය. ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: සාතන්, ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වා; එසේය, යෙරුසලම තෝරාගත් ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වා. මොහු ගින්නෙන් ඇදලාගත් පෙනෙල්ලක් නොවේදැයි කීසේක. යෝෂුවා වනාහි කිලුටු වස්ත්‍ර ඇඳගන දූතයා ඉදිරියෙහි සිටියේය. දූතයා තමා ඉදිරියෙහි සිටිය තැනැත්තන්ට කථාකොට: කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගළවාදමන්නයි කීය. තවද ඔහුට කථාකොට: මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහකෙළෙමි, මංගල්‍ය වස්ත්‍ර නුඹට පළඳවමියි කියා– මොහුගේ හිසේ ශෝභන මකුටයක් තබත්වයි කීය. එසේ ඔව්හු ශෝභන මකුටයක් ඔහුගේ හිසේ තබා ඔහුට වස්ත්‍ර පැළඳවූවෝය; ස්වාමීන්වහන්සේගේ දූතයාද නැගිට එහි සිටියේය. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා යෝෂුවාට අනුශාසනාකරමින්: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි. ඉතින් උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹ අසන්න, නුඹ ඉදිරියෙහි ඉඳගන්නාවූ නුඹේ සහායකාරයන්ද සලකුණක් පිණිස වූ මනුෂ්‍යයන් බැවින් ඔව්හුද අසත්වා. මක්නිසාද මාගේ මෙහෙකරුවාවූ පැළෑටිය පැමිණෙන්ට සලස්වන්නෙමි. මෙන්න, යෝෂුවා ඉදිරියේ මා විසින් තබා තිබෙන ගල වූ ඒ එක ගල පිට ඇස් සතක් ඇත්තේය. මම්ම එහි කැටයම්කරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ඒ දේශයේ අපරාධය එක දවසකින් පහකරන්නෙමි. ඒ කාලයෙහි නුඹලා එකිනෙකා තම තමාගේ මිත්‍රයා මුද්‍රිකවැල යටටත් අත්තික්කා ගස යටටත් කැඳවාගන යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.

සෙකරියා 3:1-10 Sinhala New Revised Version (NRSV)

උත්තම පූජක ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියේ සිටිනවාත්, ජෝෂුවාගේ දකුණු පැත්තේ ඔහුට විරුද්ධ ව චෝදනා නඟන පිණිස සාතන් සූදානමින් සිටිනවාත් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා සාතන් අමතා, “සාතන්, සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! ජෙරුසලමට ප්‍රිය කරන සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! මොහු ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් නොවේ දැ”යි කී ය. ජෝෂුවා වනාහි කිළුටු ඇඳුම් හැඳගෙන දේව දූතයා ඉදිරියෙහි සිටියේ ය. “කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය. “ඔහුගේ හිසේ ශෝභන මකුටයක් තබන්නැ”යි නියම කෙළේ ය. එසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ දූතයා බලා සිටිය දී, ශෝභන මකුටයක් ඔහුගේ හිසේ තබා, මංගල ඇඳුම් ඔහුට පැළඳෙව්වෝ ය. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ජෝෂුවාට අනුශාසනා කරමින්, “සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “නුඹ මාගේ ආඥාවලට කීකරු වී මා නුඹට නියම කරන යුතුකම් ඉටු කරන්නෙහි නම්, මාගේ මාලිගාවේ හා එහි මණ්ඩපයේ භාගය නුඹට අයත් වන්නේ ය. මා ඉදිරියෙහි සිටින අයගේ අයැදුම්වලට සවන් දෙන්නාක් මෙන් මම නුඹේ අයැදුම්වලට ද සවන් දෙන්නෙමි. ජෝෂුවා, උත්තම පූජක වන නුඹ ද සහකාර පූජකයන් වන නුඹලා ද සවන් දෙන්න. නුඹලා වනාහි මංගල පෙර නිමිති ය. ‘පැළෑටිය’ වන මාගේ මෙහෙකරුවා පැමිණෙන්නට සලස්වන්නෙමි. ඇස් සතක් ඇති ගලක් ජෝෂුවා ඉදිරියේ මම තබමි. ඒ පිට මම ලේඛනයක් කොටා මේ දේශයේ පාපය එක දවසකින් පහ කරන්නෙමි. ඒ දවස පැමිණි විට නුඹලාගේ මිදිවැල් හා අත්තික්කා ගස් යට නුඹලා එකිනෙකාට සංග්‍රහ කරනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

සෙකරියා 3:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

සෙකරියා 3:1-10 New International Version (NIV)

Then he showed me Joshua the high priest standing before the angel of the LORD, and Satan standing at his right side to accuse him. The LORD said to Satan, “The LORD rebuke you, Satan! The LORD, who has chosen Jerusalem, rebuke you! Is not this man a burning stick snatched from the fire?” Now Joshua was dressed in filthy clothes as he stood before the angel. The angel said to those who were standing before him, “Take off his filthy clothes.” Then he said to Joshua, “See, I have taken away your sin, and I will put fine garments on you.” Then I said, “Put a clean turban on his head.” So they put a clean turban on his head and clothed him, while the angel of the LORD stood by. The angel of the LORD gave this charge to Joshua: “This is what the LORD Almighty says: ‘If you will walk in obedience to me and keep my requirements, then you will govern my house and have charge of my courts, and I will give you a place among these standing here. “ ‘Listen, High Priest Joshua, you and your associates seated before you, who are men symbolic of things to come: I am going to bring my servant, the Branch. See, the stone I have set in front of Joshua! There are seven eyes on that one stone, and I will engrave an inscription on it,’ says the LORD Almighty, ‘and I will remove the sin of this land in a single day. “ ‘In that day each of you will invite your neighbor to sit under your vine and fig tree,’ declares the LORD Almighty.”