තීතස් 1:1-9 - Compare All Versions

තීතස් 1:1-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේගේ සේවකයකු හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වන පාවුල් වෙතිනි. දෙවියන්වහන්සේගේ තෝරාගත්තවුන්ගේ ඇදහිල්ල උදෙසාත්, දේව භක්තියට අදාළ ඔවුන්ගේ සත්‍ය අවබෝධය උදෙසාත්, බොරු නො කියන දෙවියන්වහන්සේ යුග කාල පටන් ගැන්මටත් කලින් පොරොන්දු වූ, සදාතන ජීවනය පිළිබඳ බලාපොරොත්තුව, නිසි කල්හි ස්වකීය වචනය උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ, අප මිදුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ නියෝගයෙන් මට පවරන ලද දේශනා කිරීම තුළිනි. පොදු ඇදහිල්ල තුළ මගේ සැබෑ දරුවා වූ තීතස් වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අපගේ ගැලවුම්කාර ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් අනුග්‍රහයත්, සාමයත් වේවා! මා ක්‍රීතයේ ඔබ නතර කළේ මෙනිසයි; මා ඔබට නියම කළ ලෙස, කළ යුතු වැඩ කොටස නිසි පිළිවෙළට කිරීමටත්, මා ඔබට පෙන්වා දුන් අයුරු හැම නගරයක සභා-මූලිකයින් පත් කිරීමටත් ය. ඔවුන් දෝෂ රහිත විය යුතු අතර, එක් භාර්යාවකට ස්වාමිපුරුෂයා විය යුතු ය. ඔහුගේ දරුවන් ඇදහිලිවතුන් විය යුතු අතර, නො හික්මීම හා අකීකරුවීම යන දෝෂ දර්ශනයට ලක් නො වූ අය විය යුතු ය. සභා නායකයා, දෙවියන්වහන්සේගේ කළමනාකරුවකු හෙයින් දෝෂ රහිත කෙනකු විය යුතු ය. ඔහු අහංකාර නො වූ, වහා නො කිපෙන්නා වූ, බේබද්දකු නො වූ, කලහකරුවකු නො වූ, වාසියට ගිජු නො වූ කෙනකු විය යුතු අතර, ආගන්තුක සත්කාරයට ලැදි, යහපතට ප්‍රේම කරන, ආත්ම සංයමයෙන් යුක්ත, යුක්ති ගරුක, ශුද්ධවත්, විනය ගරුක කෙනකු විය යුතු ය. සාර ඉගැන්වීම මගින් අන්‍යයන් දිරි ගැන්වීමටත්, ඊට එරෙහිවන්නන් දුර්මුඛ කිරීමටත් සමත් වන පිණිස, ඔහු තමාට උගන්වන ලද පරිද්දෙන් විශ්වාසී වචනය තදින් අල්ලා ගත යුතු ය.

බෙදාගන්න
තීතස් 1 SCV

තීතස් 1:1-9 SROV (Sinhala Revised Old Version)

බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ, අපේ ගැළවුම්කාරයා වන දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස මට භාරදෙනලද පණිවිඩයෙන් තමන්වහන්සේගේ වචනය ප්‍රකාශකිරීමෙන් නියම කාලවලදී එළිදරව්කළාවූ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා, දෙවියන්වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද දේවභක්තියේ හැටියට තිබෙන සත්‍යය දැනගැන්මද උදෙසා, දෙවියන්වහන්සේගේ දාසයෙක්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්, පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවාවූ තීතස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ගැළවුම්කාරයාවූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් වේවා. මා එන විට නුඹ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් නුඹ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා නුඹට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය; පත්වෙන අය වනාහි නිදොස්ව, එක භාර්යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින්ට ඕනෑය. මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ, ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට ප්‍රේමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණ දැන ක්‍රියාකරන්නාවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය. තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.

බෙදාගන්න
තීතස් 1 SROV

තීතස් 1:1-9 NRSV (Sinhala New Revised Version)

දෙවියන් වහන්සේගේ සේවකයෙකු ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ද වන පාවුලු නම් මම, දෙවියන් වහන්සේ තෝරාගත් සෙනඟගේ ඇදහිල්ල ශක්තිමත් කර, දේව භක්තියෙහි සත්‍යය ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කරන පිණිස ලියමි. ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය. උන් වහන්සේ මේ වචනය නියමිත කාලයේ දී සිය පණිවුඩය මඟින් එළිදරව් කළ සේක. අප ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ අණ පරිදි, එය ප්‍රකාශ කිරීම මට පවරන ලදී. අපගේ පොදු ඇදහිල්ලෙහි මාගේ සැබෑ පුත්‍රයා වන තීතස් වෙත මම මෙය ලියා එවමි. දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපගේ ගැළවුම්කාර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, කරුණාවත්, ශාන්තියත් ඔබට වේ වා! මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ, ඉතුරු කටයුතු සම්පූර්ණ කරන පිණිසත්, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණිසත් ය. එසේ පත් කරන මූලිකයා නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් පමණක් සිටින, කල්ක්‍රියාව ගැන සැකයට කරුණක් නැති, මනා හැසිරීමක් ඇති, ඇදහිලිවන්ත දරුවන් සිටින තැනැත්තෙකු විය යුතු ය. සභා නායක තෙමේ දෙවියන් වහන්සේගේ ගබඩාකාරයෙකු වශයෙන් නිදොස් වූ, හිතුවක්කාර නො වූ, නොකිපෙන සුලු, මත්පැනට ලොල් නො වූ, කලහකාරී නො වූ, අයුතු ලාභයට ගිජු නො වූ, ආගන්තුක සත්කාරයට ළැදි, යහපතට ප්‍රිය කරන, ශාන්තදාන්ත, දැහැමි, ශුද්ධ, දැමුණු ඉඳුරන් ඇති තැනැත්තෙකු විය යුතු ය. තවද, ඔහු ධර්මානුකූල ව අනුශාසනා කරන්නට ද, විරුද්ධවාදීන් නිහඬ කරන්නට ද සමත් වන පිණිස, ධර්මානුකූල ඇදහිල්ලෙහි ස්ථිර ව පිහිටා සිටින තැනැත්තෙකු ද විය යුතු ය.

බෙදාගන්න
තීතස් 1 NRSV

තීතස් 1:1-9 SNRV (Sinhala New Revised Version 2018)

දෙවියන් වහන්සේගේ සේවකයෙකු ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු ද වන පාවුලු නම් මම, දෙවියන් වහන්සේ තෝරාගත් සෙනඟගේ ඇදහිල්ල ශක්තිමත් කර, දේව භක්තියෙහි සත්‍යය ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කරන පිණිස ලියමි. ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය. උන් වහන්සේ මේ වචනය නියමිත කාලයේ දී සිය පණිවුඩය මඟින් එළිදරව් කළ සේක. අප ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ අණ පරිදි, එය ප්‍රකාශ කිරීම මට පවරන ලදී. අපගේ පොදු ඇදහිල්ලෙහි මාගේ සැබෑ පුත්‍රයා වන තීතස් වෙත මම මෙය ලියා එවමි. දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපගේ ගැළවුම්කාර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, කරුණාවත්, ශාන්තියත් ඔබට වේ වා! මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ, ඉතුරු කටයුතු සම්පූර්ණ කරන පිණිසත්, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණිසත් ය. එසේ පත් කරන මූලිකයා නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් පමණක් සිටින, කල්ක්‍රියාව ගැන සැකයට කරුණක් නැති, මනා හැසිරීමක් ඇති, ඇදහිලිවන්ත දරුවන් සිටින තැනැත්තෙකු විය යුතු ය. සභා නායක තෙමේ දෙවියන් වහන්සේගේ ගබඩාකාරයෙකු වශයෙන් නිදොස් වූ, හිතුවක්කාර නො වූ, නොකිපෙන සුලු, මත්පැනට ලොල් නො වූ, කලහකාරී නො වූ, අයුතු ලාභයට ගිජු නො වූ, ආගන්තුක සත්කාරයට ළැදි, යහපතට ප්‍රිය කරන, ශාන්තදාන්ත, දැහැමි, ශුද්ධ, දැමුණු ඉඳුරන් ඇති තැනැත්තෙකු විය යුතු ය. තවද, ඔහු ධර්මානුකූල ව අනුශාසනා කරන්නට ද, විරුද්ධවාදීන් නිහඬ කරන්නට ද සමත් වන පිණිස, ධර්මානුකූල ඇදහිල්ලෙහි ස්ථිර ව පිහිටා සිටින තැනැත්තෙකු ද විය යුතු ය.

බෙදාගන්න
තීතස් 1 SNRV

තීතස් 1:1-9 NIV (New International Version)

Paul, a servant of God and an apostle of Jesus Christ to further the faith of God’s elect and their knowledge of the truth that leads to godliness— in the hope of eternal life, which God, who does not lie, promised before the beginning of time, and which now at his appointed season he has brought to light through the preaching entrusted to me by the command of God our Savior, To Titus, my true son in our common faith: Grace and peace from God the Father and Christ Jesus our Savior. The reason I left you in Crete was that you might put in order what was left unfinished and appoint elders in every town, as I directed you. An elder must be blameless, faithful to his wife, a man whose children believe and are not open to the charge of being wild and disobedient. Since an overseer manages God’s household, he must be blameless—not overbearing, not quick-tempered, not given to drunkenness, not violent, not pursuing dishonest gain. Rather, he must be hospitable, one who loves what is good, who is self-controlled, upright, holy and disciplined. He must hold firmly to the trustworthy message as it has been taught, so that he can encourage others by sound doctrine and refute those who oppose it.

බෙදාගන්න
තීතස් 1 NIV