එළිදරව් 6:1-17 - Compare All Versions
එළිදරව් 6:1-17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
බැටළු පැටවාණන් මුද්‍රා හතෙන් පළමුවැන්න කඩනු මම බලා සිටියෙමි. එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් එකකු ගිගුරුමක් වැනි හඬින්, “එනු!” යි කියනු මට ඇසිණි. මා බැලූ කල, මෙන්න! එහි සුදු අශ්වයෙක්; එහි අසරුවා අත දුන්නක් විය. ඔටුන්නක් ඔහුට දෙන ලදී. ඔහු ජය ගන්නට, ජයග්‍රාහී ව පිටත් ව ගියේ ය. උන්වහන්සේ දෙවැනි මුද්‍රාව කැඩූ කල, දෙවන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. ගිනි රතු වෙනත් අශ්වයෙක් පිටතට ආවේ ය. මිනිසුන් එකිනෙකා මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමය දුරු කරන්නට එහි අසරුවාට බලය දෙන ලදී. ඔහුට විශාල අසිපතක් ද දෙන ලදී. උන්වහන්සේ තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. මා බැලූ කල, මෙන්න! කළු අශ්වයෙක්! අසරුවා අත තරාදි යුගලයක් තිබිණි. එවිට ජීවමාන සත්වයින් හතරදෙනා මධ්‍යයෙන් පැමිණි කටහඬක් වැනි හඬක් මට ඇසිණි. “තිරිඟු නැළියක මිල ඩිනාරියකි; යව නැළි තුනක මිල ඩිනාරියකි; තෙල්වලටත්, මිදි යුෂවලටත් හානි නො කරන්නැ” යි ඉන් කියැවිණි. උන්වහන්සේ හතර වන මුද්‍රාව කැඩූ කල, සිවු වන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. මා බැලූ කල, මෙන්න! සුදුමැලි අශ්වයෙක්; අසරුවාගේ නම මරණය ය. හේදිසිය, ඔහු පස්සේ ගියේ ය. කඩුවෙන්, සාගතයෙන්, වසංගතයෙන් හා පොළොවේ වන මෘගයින් මගින් පොළොවෙන් හතරෙන් එකක් මරා දමන්නට ඔවුනට බලය දෙන ලදී. උන්වහන්සේ පස් වන මුද්‍රාව කැඩූ කල, පූජාසනය යට මා දුටුවේ, දෙවියන්වහන්සේගේ වචනය නිසාත්, තමන් දැරූ සාක්ෂිය නිසාත් මරනු ලැබූවන්ගේ ජීවාත්මයන් ය. ඔවුහු උස් හඬින් මොර ගසමින්, “ශුද්ධ වූ, සත්‍ය වූ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබ පොළොවේ වාසය කරන්නන් විනිශ්චය නො කොට, අපගේ ලේ ගැන ඔවුන්ගෙන් පළිය නො ගෙන, තව කොතෙක් කල් සිටින සේක් දැ?” යි කීහ. එවිට ඔවුන් එකිනෙකාට සුදු ලෝගුව බැගින් දෙන ලදී. තවද ඔවුන් මරනු ලැබූ ලෙස ම, මරනු ලබන්නට සිටින ඔවුන්ගේ හවුල් සේවකයින්ගේත්, සහෝදරයින්ගේත් ගණන සම්පූර්ණ කරන තෙක්, තව ටික කලක් විවේක ගන්නැයි ඔවුනට කියන ලදී. උන්වහන්සේ හය වන මුද්‍රාව කඩන කල මම බැලුවෙමි. එවිට මෙන්න, මහා භූමිකම්පාවක්; තවද හිරු, ගෝණි රෙද්දක් සේ කළු විය. පුර හඳ මුළුමනින් ම ලේ වැනි විය. අත්තික්කා ගහක් සැඬ සුළඟින් සොලවනු ලැබූ කල, එහි අකාල-පල ඇද හැලෙන්නා සේ අහසේ තරු පොළොවට ඇද වැටිණි. ඇකුළුම් පොතක් අකුළනු ලැබූ සේ අහස නො පෙනී ගියේ ය. හැම කන්දක් හා දිවයිනක් ඒවා පිහිටි තැනින් ඉවත් කරන ලදී. එවිට පොළොවේ රජවරු, අධිපතීහු, හමුදාපතීහු, ධනවත්හු හා බලවත්හු ද හැම වහලෙක් හා නිවහල් මිනිහෙක් ද ගුහාවලත්, කඳුවල ගල් කුළු අතරේත් සැඟවුණහ. ඔවුහු කඳු හා පර්වත අමතමින්, “අප පිට වැටියව්! සිංහාසනය මත හිඳින තැනැන්වහන්සේගේ මුහුණ වෙතින් හා බැටළු පැටවාණන්ගේ උදහස වෙතින් අප සඟවා ගනිව්. මන්ද ඔවුන්ගේ උදහසේ මහා දවස පැමිණ ඇති බැවින්, සිටිය හැක්කේ කවරකුට දැ?” යි කීහ.
එළිදරව් 6:1-17 SROV (Sinhala Revised Old Version)
තවද බැටළුපැටවාණන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල, මම බැලුවෙමි, ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. එවිට සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි, ඌ පිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය; ඔටුන්නක්ද ඔහුට දෙනලද්දේය. ඔහු ජයගනිමින්ද ජයගන්න පිණිසද පිටත්ව ආවේය. උන්වහන්සේ දෙවෙනි මුද්‍රාව කැඩූ කල, දෙවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරන පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙනලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙනලද්දේය. උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල තුන්වෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. එවිට කළු අශ්වයෙක් දුටිමි; ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය. ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහි: ධාන්‍ය නැළියක් මස්සය; යව නැළි තුනක් මස්සය; තෙල්වලටත් මුද්‍රිකපානයටත් අනතුර නොකරන්නැයි කියන හඬක් මෙන් ඇසීමි. උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කල, සතරවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියන හඬ ඇසීමි. එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වංසගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය. උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩූ කල, දෙවියන්වහන්සේගේ වචනය නිසාද තමුන් දැරූ සාක්ෂිය නිසාද මරනු ලැබූවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි. ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධවූ සැබෑවූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප්‍රමාද වනසේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය. ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සළුවක් දෙනලද්දේය. ඔවුන් ලෙසම මරනු ලබන්ට සිටින්නාවූ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණවන තුරු, තව ස්වල්ප කාලයක් නවතින්ට කියා ඔවුන්ට කියනලද්දේය. උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල, මම දුටිමි, මහත්වූ භූමිකම්පාවක් විය; සූර්යයා කේශකම්බලයක් මෙන් කළුවිය, මුළු හඳද ලේ මෙන් විය; අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී එහි අකාල ඵල වැටෙන්නාක්මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය. අකුලනලද පොතක් මෙන් අහස පහකරනලද්දේය; සියලු කඳුද දිවයින්ද ස්වකීය ස්ථානවලින් පහකරන ලද්දේය. පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය; ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කථාකොට: අප පිට වැටී, සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අප සඟවාගන්න. මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුණ බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.
එළිදරව් 6:1-17 NRSV (Sinhala New Revised Version)
එවිට බැටළු පෝතකයාණන් මුද්‍රා සතින් පළමුවැන්න කඩනවා මම දිටිමි. එකල ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙකු ගිගුරුම් හඬකින් මෙන් කතා කොට, “එන්නැ”යි කියනු ඇසීමි. එකෙණෙහි ම මම සුදු අශ්වයෙකු දිටිමි. අසු පිට හුන් තැනැත්තා අතේ දුන්නක් තිබුණේ ය. කිරුළක් ඔහුට දෙන ලදි. ඔහු ජයග්‍රාහකයෙකුගේ විලාශයෙන් ජයෙන් ජයට පත් වන පිණිස නික්ම ගියේ ය. බැටළු පෝතකයාණන් දෙ වන මුද්‍රාව කැඩූ කල, දෙ වන ජීවමාන සත්ත්වයා කතා කොට, “එන්නැ”යි කියනු ඇසීමි. එවිට රතු ම රතු, තවත් අශ්වයෙක් නික්ම ආවේ ය. ඒ අසු පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමදානය දුරු කරන්නට බලය දෙන ලද්දේ ය. ඔහුට මහා කඩුවක් ද දෙන ලදී. බැටළු පෝතකයාණන් තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි. එකෙණෙහි ම කළු අශ්වයෙක් එහි විය. ඒ අසු පිට හුන් තැනැත්තා අතේ, තරාදියක් තිබුණේ ය. එවිට ජීවමාන සත්ත්වයන් සතර දෙනා මධ්‍යයෙන් නික්මුණු හඬක් වැනි ශබ්දයක් මට ඇසුණේ ය. එය: “තිරිඟු ලීටර් එකක් දවසේ වේතනයකි; යව ලීටර් තුනක් දවසේ වේතනයකි; එහෙත් තෙල්වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්නැ”යි කී ය. බැටළු පෝතකයාණන් සතර වන මුද්‍රාව කැඩූ කල, සතර වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි. එකෙණෙහි ම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනු ය. පාතාල ලෝකය ද ඔහු පසුපස්සේ ගියේ ය. කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද පොළොවේ වන මෘගයන් ලවා ද මරණය පැමිණවීමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේ ය. බැටළු පෝතකයාණන් පස් වන මුද්‍රාව කැඩූ කල දෙවියන් වහන්සේගේ වචනය නිසා ද තමන් දැරූ සාක්ෂිය නිසා ද මරනු ලැබූවන්ගේ ආත්මයන් පූජාසනය යට දිටිමි. ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ. එවිට ඔවුන් එකිනෙකාට සුදු සළුවක් දෙන ලද්දේ ය. ඔවුන් මෙන් ම මරනු ලැබීමට සිටි ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේ ද සහෝදරයන්ගේ ද ගණන සම්පූර්ණ වන තුරු තව ටික කලක් නවතින්නැ යි ඔවුන්ට කියන ලද්දේ ය. බැටළු පෝතකයාණන් ස වන මුද්‍රාව කඩනවා මම බලා සිටියෙමි. එවිට මහත් භූමිකම්පාවක් ඇති විය. සූර්යයා කළු පැහැති ගෝණියක් මෙන් විය. හඳ මුළුමනින් ම ලේ මෙන් රතු විය. අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවී එහි අකල් පල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිණි. අකුළන ලද පොතක් මෙන් අහස නොපෙනී ගියේ ය. සියලු කඳු ද දිවයින් ද ඒවා පිහිටි තැන්වලින් පහ කරන ලද්දේ ය. පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය. ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කතා කොට, “අප පිට වැටී සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පෝතකයාණන්ගේ උදහසිනුත් අප සඟවා ගන්න. මන්ද, ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින්, ඊට මුහුණ දියහැක්කේ කාට දැ”යි කී හ.
එළිදරව් 6:1-17 SNRV (Sinhala New Revised Version 2018)

එළිදරව් 6:1-17 NIV (New International Version)
I watched as the Lamb opened the first of the seven seals. Then I heard one of the four living creatures say in a voice like thunder, “Come!” I looked, and there before me was a white horse! Its rider held a bow, and he was given a crown, and he rode out as a conqueror bent on conquest. When the Lamb opened the second seal, I heard the second living creature say, “Come!” Then another horse came out, a fiery red one. Its rider was given power to take peace from the earth and to make people kill each other. To him was given a large sword. When the Lamb opened the third seal, I heard the third living creature say, “Come!” I looked, and there before me was a black horse! Its rider was holding a pair of scales in his hand. Then I heard what sounded like a voice among the four living creatures, saying, “Two pounds of wheat for a day’s wages, and six pounds of barley for a day’s wages, and do not damage the oil and the wine!” When the Lamb opened the fourth seal, I heard the voice of the fourth living creature say, “Come!” I looked, and there before me was a pale horse! Its rider was named Death, and Hades was following close behind him. They were given power over a fourth of the earth to kill by sword, famine and plague, and by the wild beasts of the earth. When he opened the fifth seal, I saw under the altar the souls of those who had been slain because of the word of God and the testimony they had maintained. They called out in a loud voice, “How long, Sovereign Lord, holy and true, until you judge the inhabitants of the earth and avenge our blood?” Then each of them was given a white robe, and they were told to wait a little longer, until the full number of their fellow servants, their brothers and sisters, were killed just as they had been. I watched as he opened the sixth seal. There was a great earthquake. The sun turned black like sackcloth made of goat hair, the whole moon turned blood red, and the stars in the sky fell to earth, as figs drop from a fig tree when shaken by a strong wind. The heavens receded like a scroll being rolled up, and every mountain and island was removed from its place. Then the kings of the earth, the princes, the generals, the rich, the mighty, and everyone else, both slave and free, hid in caves and among the rocks of the mountains. They called to the mountains and the rocks, “Fall on us and hide us from the face of him who sits on the throne and from the wrath of the Lamb! For the great day of their wrath has come, and who can withstand it?”