ගීතාවලිය 9:7-12

ගීතාවලිය 9:7-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ සදහට ම රජකම් කරන සේක; විනිශ්චය පිණිස උන්වහන්සේ තම සිංහාසනය ස්ථාපිත කළ සේක; ධර්මිෂ්ඨත්වයෙන් උන්වහන්සේ ලෝකයා විනිශ්චය කරන සේක; සාධාරණත්වයෙන් උන්වහන්සේ ජනයා ආණ්ඩු කරන සේක. ස්වාමින්වහන්සේ පීඩිත ජනයාට රක්ෂස්ථානයකි; දුක්-විපත් අවස්ථාවන්හි බළකොටුවකි. සැබවින් ම ඔබගේ නාමය හඳුනන්නෝ ඔබ තුළ විශ්වාසය තබති; මන්ද ස්වාමින්වහන්ස, ඔබගේ සරණ සොයා එන්නන් ඔබ කිසි දින අත්හැර නොමැත. සියොනෙහි සිහසුන අරා සිටිනා ස්වාමින්වහන්සේට ප්‍රශස්ති ගී ගයන්න. උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැන ජාති-ජාතීන් අතර ප්‍රකාශ කරන්න. ලේ ගැන පළිය ගන්නා තැනැන්වහන්සේ ඔවුන් මතකයේ තබා ගන්නා සේක; පීඩිතයින්ගේ විලාපය උන්වහන්සේ අමතක නො කරන සේක.

ගීතාවලිය 9:7-12 Sinhala Revised Old Version (SROV)

එහෙත් ස්වාමීන්වහන්සේ සදාකල්ම රජව වැඩහිඳිනසේක. උන්වහන්සේ තමන් සිංහාසනය විනිශ්චය පිණිස පිළියෙළකළසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකයා විනිශ්චයකරනසේක, අවංකකමින් ජනයන්ට යුක්තිය සලස්වාදෙනසේක. ස්වාමීන්වහන්සේ පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වනසේක, විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක; ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය; මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක. සියොන්හි වාසයකරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්. මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක. දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක.