ගීතාවලිය 42:1-9

ගීතාවලිය 42:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මුවා දිය දොළවලට ආශාවන්නා සේ, මගේ ජීවය දැඩි සේ ඔබ ගැන ආශා වෙයි, අහෝ දෙවියන්වහන්ස. දෙවියන්වහන්සේ වෙත, ජීවමාන දෙවියන්වහන්සේ වෙත, මගේ ජීවාත්මය පිපාසිත වෙයි. අහෝ මම කවදා දෙවියන්වහන්සේ අබියස පෙනී සිටින්නෙම් ද? “කෝ! නුඹේ දෙවියන්වහන්සේ කොහේ දැ?” යි මිනිසුන් මුළු දවස පුරා මට කියන කල, කඳුළු පමණි, දිවා රැයේ මට ආහාර වූයේ. මගේ ආත්මය වගුරුවමින් ආවර්ජන කරන කල, මේ දෑ මට සිහියට නැගේ: ජය ගොස නගමින්, තුති ගී ගයමින්, උත්සව පවත්වන නඩයක් මැද්දේ දෙවියන්වහන්සේගේ ගෘහය වෙත, පෙරහැරට පෙරටුවෙන් ගිය හැටි! එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද? කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද? දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න. මන්ද මම තවමත් ප්‍රශංසා කරමි, මගේ ගැලවුම්කරු වූ දෙවියන්වහන්සේට. අධෛර්යට පත් වෙයි මා තුළ මගේ ආත්මය; එබැවින් යොර්දාන් ගංගා දේශයේ සිට, හෙර්මොන් කඳු මුදුනේ සිට, මිසාර් කන්දේ සිට, මම ඔබ සිහි කරන්නෙමි. ඇදහැලෙනා ඔබගේ දිය ඇලිවල ඝෝෂා හඬ මැද, ගැඹුර, ගැඹුරට හඬ ගසයි; ඔබගේ රළ හා මහ තරංග මා වෙළා, වසා ගත්තේ ය. දහවලේ ස්වාමින්වහන්සේ නොමියෙන තම ප්‍රේමය පානා සේක; රැයේ උන්වහන්සේගේ ගීතය මා ගයන්නේ, මගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක් වශයෙනි. මගේ පර්වතයාණන් වන දෙවියන්වහන්සේට මම මෙසේ හඬ ගසමි: “ඇයි ඔබ මා අමතක කළේ? සතුරා විසින් පීඩා කරනු ලැබ, මා ශෝකයෙන් පීඩිත විය යුත්තේ ඇයි?”

ගීතාවලිය 42:1-9 Sinhala Revised Old Version (SROV)

දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය. දෙවියන්වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ. මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනෙම්ද? නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්‍රි දෙක්හි මට කෑම විය. මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව, ප්‍රීති ප්‍රශංසා ශබ්ද සහිතව, ඔවුන් කැටුව දේවමන්දිරයට ගිය ආකාරය සිහිකරමින්, මාගේ ආත්මය වගුරුවමි. එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි. මාගේ දෙවියන්වහන්ස, මාගේ ආත්මය මා තුළෙහි මලානිකවෙයි. එබැවින් යොර්දාන් දේශයෙත් හෙර්මොන් කඳුවලත් මිශාර් කන්දෙත් සිට ඔබ සිහිකරමි. ඔබගේ ජලධාරාවල ඝෝෂාවෙන් ගැඹුර ගැඹුරට හඬගසයි. ඔබගේ සියලු රැළ සහ තරංගයෝ මා වසාගත්තෝය. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ කරුණාගුණය දිවාභාගයේදී නියමකරනසේක, රාත්‍රිභාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක්, එනම් මාගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක්, මා සමඟ වන්නේය. ඔබ කුමට මා සිහිනැතිකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්දැයි මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේට කියන්නෙමි.

ගීතාවලිය 42:1-9 Sinhala New Revised Version (NRSV)

දෙවියෙනි, මුවා සිසිල් දිය දහරට ලොල් වන සේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත. දෙවිඳුන් කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම් ද? ‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි. බැති පෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමඟ පැසසුම් ගී ගයමින්, මහ පිරිස් මැද දෙව් මැදුරට මා ගිය හැටි සිහි වන විට මා හද දෙදරා යයි. ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි. මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි. ඔබේ දිය ඇලිවල ඝෝෂාවෙන් කැළඹී, මම ගැඹුරෙන් ගැඹුරට කිඳා බසිමි. ඔබේ රළ පතර මා වසාගෙන ඇත. එබැවින් හිමි තුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා! මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි: “ඔබ මා අමතක කෙළේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?”

ගීතාවලිය 42:1-9 Sinhala New Revised Version 2018 (SNRV)

දෙවියෙනි, මුවා සිසිල් දිය දහරට ලොල් වන සේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත. දෙවියන් වහන්සේ කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම් ද? ‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි. බැති පෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමඟ පැසසුම් ගී ගයමින්, මහ පිරිස් මැද දෙව් මැදුරට මා ගිය හැටි සිහි වන විට මා හද දෙදරා යයි. ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි. මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි. ඔබේ දිය ඇලිවල ඝෝෂාවෙන් කැළඹී, මම ගැඹුරෙන් ගැඹුරට කිඳා බසිමි. ඔබේ රළ පතර මා වසාගෙන ඇත. එබැවින් හිමිතුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමාණන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා! මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි: “ඔබ මා අමතක කෙළේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?”