ගීතාවලිය 36:1-6

ගීතාවලිය 36:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දුෂ්ටයින්ගේ පාපිෂ්ඨ බව ගැන දෙවියන්වහන්සේගෙන් වන පණිවුඩයක් මගේ හදවතේ වෙයි. ඔවුන්ගේ ඇස් හමුවේ දෙවියන්වහන්සේට භයක් නැත. තම පාපය සොයා දැනගැන්මත්, ඊට ද්වේෂ කිරීමත් නො පෙනෙන තරමට ඔහු තමා ගැන පුරසාරම් දොඩයි. ඔහුගේ මුවින් නික්මෙන වචන, දුෂ්ට ය; රැවටිලිකාරී ය; ඔහු ප්‍රඥාවත් වීම, හොඳ දේ කිරීම නවතා ඇත. යහනේ වැතිර පවා ඔහු කරන්නේ, නපුරු උපා සැලසුම් කිරීමයි. ඔහුගේ ඇල්ම, බැල්ම නපුර දෙසට ම ය. ඔහු නපුරට නෑ, බෑ නො කියයි. ඔබගේ නොමියෙන ප්‍රේමය, අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගය දක්වා ව්‍යාප්ත වේ; ඔබගේ විශ්වාසවන්තකම වලාකුළු උසට නැගේ. ඔබගේ ධර්මිෂ්ඨකම මහා කඳුවැටි වැන්න; ඔබගේ විනිශ්චය සාගර මහා ගැඹුර වැන්න. අහෝ ස්වාමින්වහන්ස, ඔබ මිනිසා හා සත්වයා එක ලෙස සුරකින සේක.

ගීතාවලිය 36:1-6 Sinhala Revised Old Version (SROV)

දුෂ්ටයාගේ ඇස් හමුයේ දෙවියන්වහන්සේට භයක් නැති බව ඔහුගේ අපරාධය මාගේ සිතට හඟවා දෙයි. මක්නිසාද ස්වකීය අයුතුකම එළිදරව්වෙන්නේවත් පිළිකුල්වන්නේවත් නැතැයි ඔහු තමාගේ ඇස් හමුවෙහි තමාටම චාටුකරගනියි. ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී. ඔහු තමාගේ යහනේදී අයුතුකම යොදයි; යහපත් නුවූ මාර්ගයක හැසිරෙයි; නපුරට පිළිකුල් නොකරයි. ස්වාමිනි, ඔබගේ කරුණාගුණය ස්වර්ගයෙහිය; ඔබගේ විශ්වාසකම ආකාශය දක්වා පවත්නේය. ඔබගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ කඳු මෙනි; ඔබගේ විනිශ්චයෝ මහමුහුද මෙන් ගැඹුරුය. ස්වාමිනි, ඔබ මනුෂ්‍යයාද මෘගයාද ආරක්ෂාකරනසේක.