ගීතාවලිය 22:12-21

ගීතාවලිය 22:12-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)

බොහෝ ගොන්නු මා වට කොට සිටිති; බාෂාන්හි සවිමත් ගොන්නු මා වටලා සිටිති. ගොරව ගොරවා, ගොදුරකට ඇදෙන සිංහයින් මෙන් ඔවුහු මට එරෙහිව කට අයා සිටිති. මගේ ශක්තිය, වතුර මෙන් වැගිර යයි; මගේ ඇටකටු, අවසන්ධි වී ඇත; මගේ හදවත, ඉටි වැනි ව, මා තුළෙහි දිය ව යයි. මගේ සවිය, වළං කටුවක් සේ වියළී ගොසිනි; මගේ දිව, මගේ උඩු තල්ලේ ඇලෙයි; ඔබ මා හොවා ඇත්තේ, මරණ දූලියෙහි ය. බල්ලෝ මා වට කොට සිටිති; දුෂ්ට මිනිසුන් පිරිසක් මා වටලා ඇත. ඔවුන් මගේ අත්-පා සිදුරු කර ඇත. ගණන් කළ හැකි වන තරමට මගේ ඇට පෑදී ඇත; සතුරෝ ඇස් මහත් කර, මා දෙස ඔරවා බලති. ඔවුහු තමන් අතරේ මගේ ඇඳුම් බෙදා ගනිති. මගේ වස්ත්‍ර සඳහා පස ඇට දමති. අහෝ ස්වාමින්වහන්ස, ඈත් ව නො සිටිය මැනව; අහෝ මගේ ශක්තියෙනි, මගේ පිහිටට වහා ආ මැනව. කඩුවට බිලිවීමෙන් මගේ ජීවිතය බේරාගත මැනව, මගේ වටිනා ජීවිතය බල්ලාගේ බලයෙන් මිදුව මැනව. ඒ සිංහයන්ගේ මුඛයෙන් මා මිදුව මැනව; ඒ වල් ගොනුන්ගේ අංවලින් මා ගැලෙවුව මැනව.

ගීතාවලිය 22:12-21 Sinhala Revised Old Version (SROV)

බොහෝ ගොන්නු මා වටකර සිටිති. බාෂාන්හි සවි ඇති ගොන්නු මා වටලා සිටිති. ගොදුරුකමින් ගොරවන සිංහයෙකුමෙන් ඔව්හු මා දෙස බලා කට අරිති. මම වතුර මෙන් වැගිරයෙමි, මාගේ ඇට සියල්ල අවසන්ධිවේ. මාගේ සිත ඉටි මෙන් වේ; එය මා තුළෙහි උණුවී තිබේ. මාගේ සවිය කැබිලිත්තක් මෙන් වියළී තිබේ; මාගේ දිවද තල්ලේ ඇලෙයි; ඔබ මා මරණ ධූලියට ගෙනාසේක. මක්නිසාද බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තුය; ඔව්හු මාගේ අත්පා සිදුරුකළෝය. මාගේ ඇට සියල්ල ගණන්කළ හැක්කෙමි; ඔව්හු මා දෙස රවා බලති. මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති, මාගේ සළුව පිණිස පසඇට දමති. නුමුත්, ස්වාමිනි, ඔබ දුරුනූව මැනව. මාගේ බලය වන ඔබ, මට පිහිට වෙන්ට ඉක්මන්වුව මැනව. මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව. සිංහයාගේ මුඛයෙන් මා ගැළවුව මැනව; එසේය, වල් ගොනුන්ගේ අං අතරෙහිවූ මට ඔබ උත්තරදුන්සේක.

ගීතාවලිය 22:12-21 Sinhala New Revised Version (NRSV)

මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති. ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා, ඔව්හු මා දෙස බලා සිටිති. මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය. මාගේ උගුර කැබිලිත්තක් මෙන් වියළී තිබේ. මාගේ දිව ද උඩුතල්ලේ ඇලී ඇත. ඔබ මා මළ කෙනෙකු මෙන් පසට භාර දී ඇත. මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය. මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති. මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති. හිමි තුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව. කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව. සිංහ කටෙන් මා ගැළෙවුව මැනව; කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව.

ගීතාවලිය 22:12-21 Sinhala New Revised Version 2018 (SNRV)

මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති. ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා, ඔව්හු මා දෙස බලා සිටිති. මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය. මාගේ උගුර කැබිලිත්තක් මෙන් වියළී තිබේ. මාගේ දිව ද උඩුතල්ලේ ඇලී ඇත. ඔබ මා මළ කෙනෙකු මෙන් පසට භාර දී ඇත. මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය. මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති. මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති. හිමිතුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව. කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව. සිංහ කටෙන් මා ගැළෙවුව මැනව; කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව.