ගීතාවලිය 18:30-36

ගීතාවලිය 18:30-36 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය; ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය. මන්ද, ස්වාමින්වහන්සේ මිස දෙවියන්වහන්සේ අන් කවුරු ද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයාණෝ අන් කවුරු ද? ශක්තියෙන් මා සන්නද්ධ කරන්නේ ද මගේ මාවත පරිපූර්ණ කරන්නේ ද දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ මගේ පාද මුවකුගේ පාද මෙන් කරන සේක; උන්වහන්සේ උස් තැන්හි සුරැකි ව පිහිටන්නට මට සලස්වන සේක. මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය; එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි. ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක. ඔබගේ සුරත මා උසුලා සිටියි. ඔබගේ මෘදුකම මා උසස් කර ඇත. මා ගමන් ගන්නා අඩි පාර ඔබ පුළුල් කළ සේක. එබැවින් මගේ පාද නො ලිස්සී ය.

ගීතාවලිය 18:30-36 Sinhala Revised Old Version (SROV)

දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වනසේක. මක්නිසාද ස්වාමීන් හැර දෙවිකෙනෙක් කවුද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද? මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක. උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක. උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති. තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක. ඔබගේ දකුණත මා දැරුවේය, ඔබගේ මෘදුකම මා උසස්කෙළේය. ඔබ මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය.

ගීතාවලිය 18:30-36 Sinhala New Revised Version (NRSV)

දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි. හිමි තුමන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද? අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද? මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය. මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්, උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය. මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය. ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය. ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි.

ගීතාවලිය 18:30-36 Sinhala New Revised Version 2018 (SNRV)

දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි. හිමිතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද? අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද? මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය. මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්, උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය. මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය. ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය. ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි.