හිතෝපදේශ 10:1-7

හිතෝපදේශ 10:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සාලමොන්ගේ හිතෝපදේශ: ප්‍රඥාවත් පුත්‍රයා තම පියාට ප්‍රීතිය ගෙනේ, අඥාන පුත්‍රයා තම මව ශෝකයට පමුණුවයි. අදමිටුකමින් උපයා ගත් ධනයේ වටිනාකමක් නැත; එහෙත් දමිටුකම මරණයෙන් ගලවයි. ධර්මිෂ්ඨයිනට කුස ගින්නේ සිටින්නට ස්වාමින්වහන්සේ ඉඩ නො තබන සේක; එහෙත්, දුෂ්ටයින්ගේ තෘෂ්ණාව ඉෂ්ටවීම වළකන සේක. කම්මැලි දෑත මිනිසකු දුප්පත් කරවයි; එහෙත් උද්යෝගිමත් දෑත, ධනය ගෙන එයි. ග්‍රීෂ්ම කාලයේ පලදාව එක් රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වනු කාලයේ නිදාගන්නා නින්දා සහගත පුතෙකි. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශිර්වාද වෙයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය සැහැසිකම මුවා කර ගනී. ධර්මිෂ්ඨයින් ගැන මතකය ද ආශිර්වාදයකි; එහෙත් දුෂ්ටයාගේ නාමය දිරා යයි.

හිතෝපදේශ 10:1-7 Sinhala Revised Old Version (SROV)

සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය. දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක. අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය. ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය. ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.