පිලිප්පි 4:1-7

පිලිප්පි 4:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් මා ප්‍රේම කරන, මා දැඩි සේ ඇලුම් කරන සහෝදරයිනි, ප්‍රේමණීයයනි, මගේ ප්‍රීතියත්, කිරීටයත් වන ඔබ, ස්වාමින්වහන්සේ තුළ ස්ථිර ව සිටින්න. එවූදියාට ද සින්තිකීට ද ස්වාමින්වහන්සේ තුළ එක්සත් වන ලෙස මම ඉල්ලමි. ඇත්තෙන් ම, මේ ස්ත්‍රීන්ට උපකාර කරන මෙන් මා හිතාදර හවුල් සේවක ඔබෙන් ද ඉල්ලමි. මොවුහු, ක්ලෙමන්ත් ඇතුළු අනිකුත් මා සහෝදර සේවකයින් සමඟ ශුභාරංචිය උදෙසා හරි හරියට මා සමඟ සේවය කළහ. ඔවුන්ගේ නාම ජීවන පොතේ ලියවී ඇත. ස්වාමින්වහන්සේ තුළ නිතර ප්‍රීති වන්න. මම නැවත එය ම කියමි: ප්‍රීති වන්න! ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාට ම පෙනේවා! ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක; කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදී ම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතු ව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න. එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත.

පිලිප්පි 4:1-7 Sinhala Revised Old Version (SROV)

එහෙයින්, මාගේ ප්‍රේමවන්තවූ, මා ඉතා ඇලුම්වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත්වූ මාගේ ප්‍රේමවන්තයෙනි, මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න. ස්වාමීන්වහන්සේ තුළ එක්සිත්වෙනමෙන් එවෝදියාගෙන් ඉල්ලමි, සින්තිකීගෙන්ද ඉල්ලමි. එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ. ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි. නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.

පිලිප්පි 4:1-7 Sinhala New Revised Version (NRSV)

එහෙයින් මාගේ ප්‍රේමවන්ත, හිතවත් සහෝදරවරුනි, මාගේ ප්‍රීතියත්, ඔටුන්නත් වන ප්‍රේමවන්තයෙනි, මෙසේ සමිඳාණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්න. අමනාපකම් ඉවත ලා, සමිඳාණන් වහන්සේ තුළ එක්සිත් වන ලෙස එවෝදියාගෙන් ද සින්තිකීගෙන් ද ඉල්ලමි. එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත. සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි. ඔබගේ ගුණ යහපත්කම සියලු මනුෂ්‍යයන්ට දැනගන්නට ලැබේ වා. සමිඳාණන් වහන්සේ විගස වඩින සේක. ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.

පිලිප්පි 4:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

එහෙයින් මාගේ ප්‍රේමවන්ත, හිතවත් සහෝදරවරුනි, මාගේ ප්‍රීතියත්, ඔටුන්නත් වන ප්‍රේමවන්තයෙනි, මෙසේ සමිඳාණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්න. අමනාපකම් ඉවත ලා, සමිඳාණන් වහන්සේ තුළ එක්සිත් වන ලෙස එවෝදියාගෙන් ද සින්තිකීගෙන් ද ඉල්ලමි. එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත. සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි. ඔබගේ විඳදරාගැනීමේ හැකියාව සියලු මනුෂ්‍යයන්ට දැනගන්නට ලැබේ වා. සමිඳාණන් වහන්සේ විගස වඩින සේක. ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.