ශු. මාර්ක් 1:1-9

ශු. මාර්ක් 1:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පටන් ගැන්ම; දිවැසිවර යෙසායාහි: “මෙන්න, මගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔහු, ඔබගේ මාවත සකසන්නේ ය.” “පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු. උන්වහන්සේට සෘජු මාවත් සාදනු’” යි සඳහන් අයුරින්. පාළුකරයේ බව්තීස්ම කරමින්, පාප කමාව පිණිස පසුතැවිලිවීමේ බව්තීස්මය දේශනා කරමින් යොහන් බව්තීස්ත පැමිණියේ ය. එකල මුළු යූදා රට ද සියලු යෙරුසලම් වාසීහු ද ඔහු වෙත ගියහ. ඔවුහු තමන්ගේ පාප කියා දෙමින්, යොර්දාන් නදියෙහි ඔහුගෙන් බව්තීස්ම ලදහ. ඔටු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටි යොහන්ගේ ආහාරය වූයේ පළඟැටියන් හා වන මී ය. ඔහු දේශනා කරමින්, “මට වඩා බලවත් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමන්ගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම කරන සේකැ” යි පැවසී ය. එදවස්හි යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට පැමිණ, යොහන්ගෙන් යොර්දානයේදී බව්තීස්මය ලැබූ සේක.

ශු. මාර්ක් 1:1-9 Sinhala Revised Old Version (SROV)

දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පටන්ගැන්මය. බලව, මම මාගේ දූතයා නුඹට පෙරටුව යවමි, හෙතෙම නුඹේ මාර්ගය සාදන්නේය; ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළ කරව්, උන්වහන්සේගේ මාවත් සමතලා කරව්යයි වනාන්තරයේ හඬගසන්නෙකුගේ ශබ්දයය කියා අනාගතවක්තෘවූ යෙසායාගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට, යොහන් ආවේය. ඔහු වනාන්තරයෙහිදී බව්තීස්මකරමින් පව්කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය ප්‍රකාශකෙළේය. එවිට මුළු යූදා රටවාසීහුද යෙරුසලමේ සියල්ලෝද ඔහු වෙතට පැමිණ තමුන්ගේ පව් කියාදෙමින් ඔහුගෙන් යොර්දාන් ගඟෙහි බව්තීස්මය ලැබුවෝය. යොහන් ඔටුරෝම වස්ත්‍ර හැඳ ඉඟටියේ සම්පටියක් බැඳ සිටියේය, ඔහු පළඟැටියන්ද වනමීද කෑවේය. ඔහු දේශනාකරමින්: මට වඩා බලවත් කෙනෙක් මට පසුව එනසේක, මම නැමී උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් නොවටිමි. මම නුඹලා වතුරෙන් බව්තීස්ම කෙළෙමි, නුමුත් උන්වහන්සේ නුඹලා ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරනසේකැයි කීය. ඒ දවස්වලදී යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට ඇවිත් යොහන්ගෙන් යොර්දානෙහි බව්තීස්මය ලැබූසේක.

ශු. මාර්ක් 1:1-9 Sinhala New Revised Version (NRSV)

දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්නේ ආරම්භය මෙය ය. යෙසායා සිය දිවැසාවලියෙහි මෙසේ ලියා ඇත: “මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ පිළියෙළ කරන්නේ ය; ‘සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් වේ!” එපරිද්දෙන් ස්නාවක ජොහන් තෙමේ ‘පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබිය යුතු ය’යි දේශනා කරමින් පාළුකරයෙහි පහළ විය. එවිට මුළු ජුදා රට ද ජෙරුසලම් පුරවැසියෝ ද ඔහු වෙත රැස් වී, පාපෝච්චාරණය කරමින් ඔහුගෙන් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් හැඳ, ඉණ වටා සම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය. ඔහු දේශනා කරමින්, “මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි; මම වතුරෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කෙළෙමි; එහෙත් උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේකැ”යි කී ය. එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක.

ශු. මාර්ක් 1:1-9 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මාර්ක් 1:1-9 SROV