ශු. මතෙව් 6:24-33

ශු. මතෙව් 6:24-33 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“හාම්පුතුන් දෙදෙනකුට මෙහෙ කිරීමට කිසිවකුට නුපුළුවන. ඔහු එක් කෙනකුට ද්වේෂ වී, අනෙකාට ප්‍රේම කරනු ඇත. නැතහොත් එක් කෙනකුට ලැදි වී අනෙකා හෙළා දකිනු ඇත. දෙවියන්වහන්සේටත්, මුදලටත් සේවය කිරීමට ඔබට නුපුළුවන. “එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද, බොන්නේ මොනවා ද කියා ඔබේ ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ඔබේ ශරීරය ගැනවත්, කනස්සලු නො වන ලෙසයි. කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද වටිනවා නො වේ ද? අහසේ පක්ෂීන් දෙස බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත්, අටු-කොටු පුරවන්නේවත් නැත. එහෙත් ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නො වේ ද? කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද? “ඇඳුම් ගැන ඔබ කනස්සලු වන්නේ මන්ද? කෙතේ මානෙල් වැඩෙන හැටි බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත. එහෙත් මා ඔබට කියන්නේ, සාලමොන් පවා ඔහුගේ මුළු රාජශ්‍රීයෙන් පැලඳ සිටියදීත් මේ මලක් සේ සැරසී සිටියේ නැති බවයි. අද තිබී, හෙට ගින්නෙහි ලන කෙතේ තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, ‘අප කන්නේ මොනවා ද? බොන්නේ මොනවා ද? අඳින්නේ මොනවා ද?’ කියමින් කනස්සලු නො වන්න. මන්ද අන්‍ය-ජාතීහු ඒ සියල්ල හඹා යති. ඒවා ඔබට වුවමනා වග ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නා සේක. එබැවින් පළමු කොට දෙවියන්වහන්සේගේ රාජ්‍යයත්, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට ඒ හැම දේත් ඔබට දෙනු ලැබේ.

ශු. මතෙව් 6:24-33 Sinhala Revised Old Version (SROV)

ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන. එහෙයින් නුඹලාට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද? නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්චර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි. මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද? එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න. මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක. නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.

ශු. මතෙව් 6:24-33 Sinhala New Revised Version (NRSV)

“ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.” “එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද? අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද? කරදර වීමනේ තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද? “ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත. එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි. ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද? එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න. විජාතීන් සෑම විට ම සොයන්නේත් මේවා ම ය; මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක. එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.

ශු. මතෙව් 6:24-33 Sinhala New Revised Version 2018 (SNRV)