ශු. මතෙව් 20:17-28

ශු. මතෙව් 20:17-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යෙරුසලම බලා ගමන් ගන්නා අතරේ යේසුස්වහන්සේ ගෝලයින් දොළොස් දෙනා පසෙකට කැඳවා, මඟදී ඔවුන් අමතමින්, “ඔන්න, අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරණයට තීන්දු කර, ඉන්පසු සරදම් කරන්නට, කස පහර දී කුරුසිපත් කරන්නට විදේශීන් අතට එතුමාණන් පාවා දෙනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ යළි නැගිටුවනු ලබන සේකැ” යි පැවසූ සේක. ඉන්පසු සෙබදීගේ පුත්‍රයන්ගේ මව තම පුතුන් දෙදෙනා සමඟ උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී උන්වහන්සේගෙන් වරයක් ඉල්ලුවා ය. “ඔබට ඕනෑ මොනවා දැ?” යි උන්වහන්සේ ඇසූ සේක. “ඔබගේ රාජ්‍යයේදී මගේ මේ පුතුන් දෙදෙනාගෙන් කෙනකු ඔබගේ දකුණු පැත්තේ ද අනෙකා ඔබගේ වම් පැත්තේ ද හිඳගන්නට වර දෙන්නැ” යි ඈ කීවා ය. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන්නට යන කුසලානෙන් බොන්නට ඔබටත් පුළුවන් දැ?” යි ඇසූ සේක. “අපට පුළුවනැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට යේසුස්වහන්සේ, “සැබවින් ම ඔබ මගේ කුසලාන පානය කරනු ඇත. එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හෝ හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. මගේ පියාණන්වහන්සේ කවරකු සඳහා ඒවා පිළියෙල කරන ලද සේක් ද ඒවා අයිති ඔවුනට යැ” යි පැවසූ සේක. දහ දෙනා ඒ වග ඇසූ කල ඒ සහෝදරයින් දෙදෙනා සමඟ උරණ වූහ. යේසුස්වහන්සේ ඔවුන් එකට කැඳවා, “අන්‍ය-ජාතිකයින්ගේ පාලකයෝ ඔවුන්ට ස්වාමිත්වය පාන බවත්, ඔවුන්ගේ උසස් නිලතල දරන්නෝ ඔවුන්ට අධිපතිකම් පාන බවත් ඔබ දන්නහු ය. එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා, වන්නට කැමති තැනැත්තා ඔබගේ සේවකයා විය යුතුයි. මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි. එසේ ම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.

ශු. මතෙව් 20:17-28 Sinhala Revised Old Version (SROV)

යේසුස්වහන්සේ යෙරුසලමට යන කල ගෝලයන් දොළොස්දෙනා වෙන්කොටගෙන මගදී ඔවුන්ට කථාකොට: අපි යෙරුසලමට යමුව; මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයන්ටත් ලියන්නන්ටත් පාවාදෙනු ලබන්නේය; ඔව්හුද ඔහු මරණයට නියමකොට, කවටකම්කිරීමටත් තැළීමටත් කුරුසියෙහි ඇණගැසීමටත් අන්‍යජාතීන්ට පාවාදෙන්නෝය. නුමුත් තුන්වෙනිදා ඔහු නැගුටුවනු ලබන්නේයයි කීසේක. එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මවු ඇගේ පුත්‍රයන් සමඟ උන්වහන්සේ ළඟට ඇවිත්, නමස්කාරකොට, වරයක් ඉල්ලුවාය. උන්වහන්සේ: නුඹට ඕනෑ කුමක්දැයි ඇගෙන් ඇසූසේක. ඈද: ඔබගේ රාජ්‍යයෙහිදී මේ මාගේ පුත්‍රයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳින්ට නියමකළ මැනවයි කීවාය. නුමුත් යේසුස්වහන්සේ උත්තර දෙමින්: නුඹලා ඉල්ලන්නේ කුමක්දැයි නුඹලා දන්නේ නැත. මා බොන්ට යන කුසලානෙන් බොන්ට නුඹලාට පුළුවන්දැයි ඇසූසේක. අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ඒකාන්තයෙන් නුඹලා මාගේ කුසලානෙන් බොන්නහුය. නුමුත් මාගේ දකුණු පැත්තේද වම් පැත්තේද ඉන්ට දීම මට අයිති නැත, එහෙත් මාගේ පියාණන් විසින් ඒවා යමෙකුට නියමකරනලද්දේද ඔවුන්ටයයි කීසේක. එවිට දසදෙන ඒ අසා ඒ සහෝදරයන් දෙදෙනා ගැන කිපුණෝය. නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.

ශු. මතෙව් 20:17-28 Sinhala New Revised Version (NRSV)

ජේසුස් වහන්සේ ජෙරුසලමට යමින් සිටි සේක්, අතරමඟ දී ප්‍රේරිතයන් දොළොස් දෙනා වෙන් කොට ගෙන ඔවුන්ට කතා කොට, “දැන් අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකයන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබන සේක. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට, කවටකම් කිරීම ද තැලීම ද කුරුසියෙහි ඇණ ගැසීම ද සඳහා විජාතීන්ට පාවා දෙති. එහෙත්, තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක. එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මව ඇගේ පුත්‍රයන් හා සමඟ උන් වහන්සේ වෙත අවුත්, දණින් වැටී, එක් වරයක් ඉල්ලුවා ය. උන් වහන්සේ කතා කරමින්, “ඔබ කුමක් ඉල්ලන්නෙහි දැ”යි ඇයගෙන් ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “ඔබගේ රාජ්‍යයෙහි දී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද හිඳගැනීමට නියම කළ මැනවැ”යි කීවා ය. එහෙත්, ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න ඔබට හැකි දැ”යි ඇසූ සේක. “අපට හැකි ය”යි ඔව්හු පිළිතුරු දුන්හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ඔබ මාගේ කුසලානෙන් බොන්නහු ය. එහෙත් මාගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද හිඳගන්න දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේ ද ඒවා අයිති ඔවුන්ට ය”යි වදාළ සේක. දස දෙනා එපවත් ඇසූ විට ඒ සොහොයුරන් දෙදෙනා ගැන කෝප වූ හ. එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළ සේක: “විජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නහු ය. එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය. ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”

ශු. මතෙව් 20:17-28 Sinhala New Revised Version 2018 (SNRV)

ජේසුස් වහන්සේ ජෙරුසලමට යමින් සිටි සේක්, අතරමඟ දී අපෝස්තුළුවරුන් දොළොස් දෙනා වෙන් කොට ගෙන ඔවුන්ට කතා කොට, “දැන් අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකයන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබන සේක. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට, කවටකම් කිරීම ද තැලීම ද කුරුසියෙහි ඇණ ගැසීම ද සඳහා විජාතීන්ට පාවා දෙති. එහෙත්, තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක. එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මව ඇගේ පුත්‍රයන් හා සමඟ උන් වහන්සේ වෙත අවුත්, දණින් වැටී, එක් වරයක් ඉල්ලුවා ය. උන් වහන්සේ කතා කරමින්, “ඔබ කුමක් ඉල්ලන්නෙහි දැ”යි ඇයගෙන් ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “ඔබගේ රාජ්‍යයෙහි දී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද හිඳගැනීමට නියම කළ මැනවැ”යි කීවා ය. එහෙත්, ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න ඔබට හැකි දැ”යි ඇසූ සේක. “අපට හැකි ය”යි ඔව්හු පිළිතුරු දුන්හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ඔබ මාගේ කුසලානෙන් බොන්නහු ය. එහෙත් මාගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද හිඳගන්න දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේ ද ඒවා අයිති ඔවුන්ට ය”යි වදාළ සේක. දස දෙනා එපවත් ඇසූ විට ඒ සොහොයුරන් දෙදෙනා ගැන කෝප වූ හ. එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළ සේක: “විජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නහු ය. එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය. ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”

ශු. මතෙව් 20:17-28 New International Version (NIV)

Now Jesus was going up to Jerusalem. On the way, he took the Twelve aside and said to them, “We are going up to Jerusalem, and the Son of Man will be delivered over to the chief priests and the teachers of the law. They will condemn him to death and will hand him over to the Gentiles to be mocked and flogged and crucified. On the third day he will be raised to life!” Then the mother of Zebedee’s sons came to Jesus with her sons and, kneeling down, asked a favor of him. “What is it you want?” he asked. She said, “Grant that one of these two sons of mine may sit at your right and the other at your left in your kingdom.” “You don’t know what you are asking,” Jesus said to them. “Can you drink the cup I am going to drink?” “We can,” they answered. Jesus said to them, “You will indeed drink from my cup, but to sit at my right or left is not for me to grant. These places belong to those for whom they have been prepared by my Father.” When the ten heard about this, they were indignant with the two brothers. Jesus called them together and said, “You know that the rulers of the Gentiles lord it over them, and their high officials exercise authority over them. Not so with you. Instead, whoever wants to become great among you must be your servant, and whoever wants to be first must be your slave— just as the Son of Man did not come to be served, but to serve, and to give his life as a ransom for many.”