ශු. මතෙව් 2:13-18

ශු. මතෙව් 2:13-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔවුන් නික්ම ගිය පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් යෝසෙප්ට පෙනී, “නැගිටින්න; දරුවාත්, ඔහුගේ මවත් රැගෙන, ඊජිප්තුවට පලා ගොස්, මා නැවත දන්වන තුරු එහි නැවතී සිටින්න; මන්ද හෙරෝද් දරුවා මරා දමන්නට සොයනවා ඇතැ” යි කීවේ ය. එකල යෝසෙප් නැගිට දරුවාත්, ඔහුගේ මවත් ගෙන, රැයේ ම පිටත් ව, ඊජිප්තුවට ගොස්, හෙරෝද්ගේ මරණය දක්වා එහි නැවතී සිටියේ ය. මෙසේ වූයේ, ස්වාමින්වහන්සේ දිවැසිවරයා මගින් පැවසූ, “මගේ පුතණුවන් ඊජිප්තුවෙන් කැඳවා ගතිමි” යි යන්න සැබෑ වන පිණිස ය. පෙරදිග පඬිවරු තමාට ප්‍රයෝගයක් කර ඇති වග දැක, දැඩි කෝපයට පත් හෙරෝද්, එම පඬිවරුන්ගෙන් දැනගත් කාලසීමාවට අනුව, බෙත්ලෙහෙම හා ඒ අවට පළාත්වල වයසින් අවුරුදු දෙකක් වූත්, ඊට අඩු වූත් සියලු පිරිමි දරුවන් මරා දමන්නට මිනිසුන් යැවී ය. මෙසේ දිවැසිවර යෙරමියා පවසා තිබූ මෙම අනාවැකිය ඉටු විණි: “වැලපීමක, මහා විලාපයක හඬක්, රාමාහි ඇසිණ, රාඛෙල් ඇගේ දරුවන් ගැන වැලපෙන්නී, තවත් උන් නැති නිසා, සැනසෙන්නට නො කැමති වූවා ය.”

ශු. මතෙව් 2:13-18 Sinhala Revised Old Version (SROV)

ඔවුන් ගිය කල්හි ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා ඔබට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය. ඔහු නැගිට රාත්‍රියෙහි ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස්, හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේය. මෙසේ වූයේ: මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමියි කියා ස්වාමීන්වහන්සේ විසින් අනාගතවක්තෘ කරණකොටගෙන කියනලද කීම සම්පූර්ණවන පිණිසය. එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය. එකල: හැඬීමේද බොහෝ වැලපීමේද හඬක් රාමාහි ඇසුණේය; රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා සැනසෙන්ට නොකැමතිවූවායයි අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය.

ශු. මතෙව් 2:13-18 Sinhala New Revised Version (NRSV)

ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය. ඔහු රාත්‍රියෙහි නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය. මෙසේ වූයේ, “මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමි”යි කියා සමිඳාණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණිස ය. එකල හෙරොද් තෙමේ ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, අතිශයින් උදහස් විය. එවිට ඔහු ශාස්ත්‍රවන්තයන්ගෙන් විමසා, හරියාකාර දැනගත් කාලය අනුව, දෑවුරුදු වයස් වූ ද, ඊට බාල වූ ද, බෙත්ලෙහෙම හා ඒ අවට මුළු පෙදෙසෙහි සිටි සියලු පිරිමි දරුවන් මරාදැමීමට අණ කෙළේ ය. එකල දිවැසිවර ජෙරමියා විසින් කියන ලද මේ කීම ඉටු විය: “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් ලැබීමට අකමැති වූවා ය.”

ශු. මතෙව් 2:13-18 Sinhala New Revised Version 2018 (SNRV)