ශු. මතෙව් 17:14-21

ශු. මතෙව් 17:14-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔවුන් යළි ජන සමූහයා වෙත පැමිණි කල, එක් මිනිසෙක් උන්වහන්සේ වෙත අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, මගේ පුත්‍රයාට දයාව පෑ මැනව. ඔහු අපස්මාරයෙන් පෙළෙමින් දැඩි සේ පීඩා විඳියි. ඔහු නිතර ගින්නේ ද වතුරේ ද වැටෙයි. ඔබගේ ගෝලයන් වෙත ඔහු ගෙනාවෙමි. එහෙත් ඔහු සුව කරන්නට ඔවුනට නො හැකි විණැ” යි පැවසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක. යේසුස්වහන්සේ ඔහුට තරවටු කළෙන්, යක්ෂාත්මය ඔහුගෙන් පිටතට ආයේ ය. එකෙණෙහි ම දරුවා සුව කරනු ලැබිණ. පසුව ගෝලයෝ, පෞද්ගලික ව යේසුස්වහන්සේ වෙත අවුත්, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම් වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත් ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදු වන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත. මේ වර්ගය යාච්ඤාවෙන් සහ නිරාහාරයෙන් මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ” යි පැවසූ සේක.

ශු. මතෙව් 17:14-21 Sinhala Revised Old Version (SROV)

ඔවුන් සමූහයා ළඟට ආ කල මනුෂ්‍යයෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දණින් හිඳ: ස්වාමිනි, මාගේ පුත්‍රයාට කරුණාකළ මැනව; මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳියි. නොයෙක්විට ගින්නෙහිද නොයෙක්විට වතුරෙහිද වැටෙයි. ඔබවහන්සේගේ ගෝලයන් ළඟට මම ඔහු ගෙනාවෙමි, ඔහු සුවපත්කරන්ට ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක. යේසුස්වහන්සේ ඔහුට තරවටුකළසේක; එවිට යක්ෂයා ඔහුගෙන් දුරුව ගියේය. ඒ පැයේ පටන් ළමයා සුවපත්විය. එවිට ගෝලයෝ තනිව යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔහු දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි ඇසුවෝය. උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය; කිසිවක් නුඹලාට බැරි නොවන්නේයයි කීසේක.