ශු. මතෙව් 16:5-20

ශු. මතෙව් 16:5-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එගොඩට ළඟා වූ කල, රොටි ගෙන යන්නට ගෝලයින්ට අමතක වී තිබිණි. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “බලාගෙනයි! පරිසිවරුන්ගේ හා සද්දුසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක. ඔවුහු තම තමන් අතරේ කතිකා කරමින්, “රොටි ගෙනෙන්නට අපට අමතක වූ නිසා යැ” යි කීහ. යේසුස්වහන්සේ ඔවුන්ගේ කතා බහ දැන, “අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, රොටි නො ගෙන ඒම ගැන ඔබ අතරේ කතා කරන්නේ මන්ද? තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත් පසුව කූඩ කීයක් පුරවා ගත්තා ද කියාත් ඔබට අමතක ද? හාර දහසකට රොටි හතකින් දී ලොකු කූඩ කීයක් පුරවා ගත්තා ද? මා කතා කළේ රොටි ගැන නො වන බැව් ඔබට නො වැටහුනේ කෙසේ ද? එහෙත් පරිසීන්ගේ හා සද්දුසීන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක. උන්වහන්සේ තමනට පැවසුවේ රොටිවලට යොදන මුහුන්වලින් නො ව, පරිසිවරුන්ගේ හා සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින් පරෙස්සම් වීමට බැව් එවිට ඔවුහු වටහා ගත්හ. යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරි පෙදෙසට පැමිණි කල, “ජනයා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් කවුරු ය කියා දැ?” යි තම ගෝලයන්ගෙන් ඇසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්, “සමහරුන් කියන්නේ, යොහන් බව්තීස්ත ය කියා ය; අන් සමහරු කියන්නේ එලියා ය කියා ය; සෙසු අය යෙරමියා හෝ වෙනත් දිවැසිවරයෙක් ය කියා යැ” යි කීහ. “එහෙත්, ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට උත්තර දෙමින්, “සීමොන්, යෝනාගේ පුත්‍රය, ඔබ භාග්‍යවත් ය. මන්ද ඔබට මෙය හෙළි කළේ මාංසය හා රුධිරය නො වේ; ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේ ය. මා ඔබට කියන්නේ, ඔබ පේතෘස් ය; මේ පර්වතය පිට මම මගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු, ඊට එරෙහිව ජය ගන්නේ නැත. ස්වර්ග රාජ්‍යයේ යතුරු මම ඔබට දෙන්නෙමි; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ යැ” යි පැවසූ සේක. ඉන්පසු තමා ක්‍රිස්තුස්වහන්සේ බැව් කිසිවකුට නො කියන ලෙස, තම ගෝලයනට උන්වහන්සේ නියෝග කළ සේක.

ශු. මතෙව් 16:5-20 Sinhala Revised Old Version (SROV)

ගෝලයෝ එගොඩට පැමිණියෝය; රොටි ගෙනයන්ට ඔවුන්ට මතකනැති වුණේය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු: අපි රොටි නොගෙනාමුයයි තම තමුන් අතරේ කථාකරගත්තෝය. යේසුස්වහන්සේ ඒ බව දැන: මඳ ඇදහිල්ල ඇත්තෙනි, නුඹලාට රොටි නැති නිසා කුමකට නුඹලා අතරෙහි කථාකර ගන්නහුද? නුඹලාට තවම තේරෙන්නේ නැද්ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පැස් කීයක් පුරවාගත්තහුද කියාත්, සාරදහසකට දුන් රොටි සත ගැනත්, කූඩා කීයක් පුරවාගත්තහුද කියාත් මතක නැද්ද? රොටි ගැන මා විසින් නුඹලාට නොකී බව නුඹලාට තේරුම් නැත්තේ කොහොමද? නුමුත් ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්නැයි කීසේක. එවිට උන්වහන්සේ ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද ඉගැන්වීමෙන් මිස රොටිවල මුහුන්වලින් ප්‍රවේසම් වෙන්ට නොකී බව ඔව්හු තේරුම්ගත්තෝය. යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරියේ පළාත්වලට පැමිණි කල: මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ය කියා මනුෂ්‍යයෝ කියද්දැයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක. ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය. නුමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. සීමොන් පේතෘස් උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන් බර්-යෝනා, නුඹ ආශීර්වාදලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ මිස මාංසය හා රුධිරය මේක ඔබට එළිදරව් නොකෙළේය. මම ඔබට කියමි: නුඹ පේතෘස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. ස්වර්ගරාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. නුඹ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහිදී මුදනු ලබන්නේයයි ඔහුට කීසේක. එවිට තමන් ක්‍රිස්තුස්වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ගෝලයන්ට අණකළසේක.

ශු. මතෙව් 16:5-20 Sinhala New Revised Version (NRSV)

ශ්‍රාවකයන් එගොඩට යද්දී රොටි ගෙන යන්න ඔවුන්ට අමතක විය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක. “උන් වහන්සේ එසේ කියන්නේ අප රොටි නොගෙනා නිසා ය”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. ජේසුස් වහන්සේ ඒ බව දැන, “ඇදහිල්ල හීන තැනැත්තෙනි, ඔබට රොටි නැති නිසා ඔබ එසේ කතා කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් ගොස් නැද් ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත්, සාර දහසකට දුන් රොටි හත ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත් මතක නැද් ද? රොටි ගැන මා ඔබට කතා නොකළ බව තේරුම් නොගියේ කෙසේ ද? එහෙත්, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක. මෙයින් උන් වහන්සේ අදහස් කෙළේ රොටි සාදන මුහුන්වලින් පරෙස්සම් වීම නොව, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද ඉගැන්වීම්වලින් පරෙස්සම් වීම බව ඔව්හු තේරුම් ගත්හ. ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ”යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. ඔව්හු කතා කොට, “සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ. “එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. සීමොන් පේදුරු උත්තර දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය. ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය. මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක. තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක.

ශු. මතෙව් 16:5-20 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මතෙව් 16:5-20 New International Version (NIV)

When they went across the lake, the disciples forgot to take bread. “Be careful,” Jesus said to them. “Be on your guard against the yeast of the Pharisees and Sadducees.” They discussed this among themselves and said, “It is because we didn’t bring any bread.” Aware of their discussion, Jesus asked, “You of little faith, why are you talking among yourselves about having no bread? Do you still not understand? Don’t you remember the five loaves for the five thousand, and how many basketfuls you gathered? Or the seven loaves for the four thousand, and how many basketfuls you gathered? How is it you don’t understand that I was not talking to you about bread? But be on your guard against the yeast of the Pharisees and Sadducees.” Then they understood that he was not telling them to guard against the yeast used in bread, but against the teaching of the Pharisees and Sadducees. When Jesus came to the region of Caesarea Philippi, he asked his disciples, “Who do people say the Son of Man is?” They replied, “Some say John the Baptist; others say Elijah; and still others, Jeremiah or one of the prophets.” “But what about you?” he asked. “Who do you say I am?” Simon Peter answered, “You are the Messiah, the Son of the living God.” Jesus replied, “Blessed are you, Simon son of Jonah, for this was not revealed to you by flesh and blood, but by my Father in heaven. And I tell you that you are Peter, and on this rock I will build my church, and the gates of Hades will not overcome it. I will give you the keys of the kingdom of heaven; whatever you bind on earth will be bound in heaven, and whatever you loose on earth will be loosed in heaven.” Then he ordered his disciples not to tell anyone that he was the Messiah.