ශු. මතෙව් 14:1-21

ශු. මතෙව් 14:1-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙකල යේසුස්වහන්සේගේ කීර්තිය පිළිබඳව හෙරෝද් ප්‍රාන්ත රජුට අසන්ට ලැබුණේ ය. තම මෙහෙකරුවන් ඇමතූ ඔහු, “මේ යොහන් බව්තීස්ත ය; ඔහු මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි පැවසී ය. මන්ද හෙරෝද්, තම සහෝදරයා වූ පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා, යොහන් අල්ලා බැඳ, සිරගත කරනු ලැබ තිබිණ. එසේ වූයේ, “ඇය තියා ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් ඔහුට කියා තිබූ බැවිණි. ඔහු මරා දැමීමට වුවමනා වුව ද, ඔහු දිවැසිවරයෙකැයි ජනයා සැලකූ නිසා, හෙරෝද් ඔවුනට බය වූයේ ය. එහෙත් හෙරෝද්ගේ උපන් දිනය පැමිණි කල, හෙරෝදියස්ගේ දියණිය, පිරිස ඉදිරියේ නැටුමක් නටා, හෙරෝද් ප්‍රීතියට පත් කළෙන්, ඇය ඉල්ලන කවරක් වුව දෙන්නට හෙරෝද් ඇයට දිවුරුමකින් පොරොන්දු විය. තම මව විසින් පොලඹවන ලද ඈ, “යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා, මට මෙහි ගෙනත් දෙන්නැ” යි කීවා ය. රජු ඉන් දැඩි සිත් තැවුලට පත් වුව ද, තම දිවුරුම් නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත් එය දීමට අණ කොට, සිර ගෙදරට යවා, යොහන්ගේ හිස ගසවාලී ය. ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත්, දැරියට දෙන ලදී. ඈ එය තම මව වෙත ගෙන ගියා ය. ඔහුගේ ගෝලයෝ පැමිණ, ඔහුගේ දේහය ගෙන ගොස්, එය වළලා, ඉන්පසු යේසුස්වහන්සේට එපවත් දැන්වූහ. ඒ ඇසූ කල, යේසුස්වහන්සේ එම පෙදෙස හැර, ඔරුවක නැග, තනි ව හුදකලා තැනකට ගිය සේක. එහෙත් ජනයා ඒ අසා, නගරවල සිට ගොඩ බිමින් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, විශාල ජනකායක් දුටු සේක්, ඔවුනට අනුකම්පා කර, ඔවුන්ගේ රෝගීන් සුව කළ සේක. සවස් වූ කල, උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්; දැනටත් හොඳට ම පමා වෙලා. එනිසා අසල ගම්වලට ගොස්, ඔවුන්ට ආහාර මිලට ගන්නට හැකි වන පිණිස ජනයා පිටත් කර හරින්නැ” යි කීහ. එහෙත් යේසුස්වහන්සේ, “ඔවුන් යන්න ඕනෑ නැහැ. ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක. “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනකුත් පමණි” යි ඔවුහු පිළිතුරු දුන්හ. “ඒවා මා ළඟට මෙහෙ ගෙනෙන්නැ” යි උන්වහන්සේ පැවසූ සේක. ඉන්පසු තණ නිල්ල මත හිඳ ගන්නා ලෙස සමූහයාට නියෝග කළ උන්වහන්සේ, රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, ඉන්පසු රොටි කඩා, ගෝලයිනට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට බෙදා දුන්හ. සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පැමිණි පසු, ඔවුහු ඉතිරි වූ කැබලිවලින් කූඩ දොළහක් එකතු කර ගත්හ. ස්ත්‍රීන් හා දරුවන් හැර රොටි කෑ අය ගණනින් පිරිමි පන්දහසක් පමණ වූහ.

ශු. මතෙව් 14:1-21 Sinhala Revised Old Version (SROV)

එසමයෙහිදී දේශාධිපතිවූ හෙරොද් යේසුස්වහන්සේගේ කීර්තිය ගැන අසා: මොහු යොහන් බව්තීස්තය; ඔහු මළවුන්ගෙන් නැගිට සිටියි. ඒ නිසා ඔහු තුළ මේ බලපරාක්‍රම ක්‍රියාකරන්නේයයි තමාගේ මෙහෙකරුවන්ට කීවේය. මක්නිසාද හෙරොද් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා යොහන් අල්වා බැඳ හිරගෙයි දමා තිබුණේය. මෙසේ කළේ: ඈ තබාගැන්ම ඔබට යුතු නැතැයි යොහන් ඔහුට කී නිසාය. ඔහු යොහන් මරන්ට කැමතිව සිටි නුමුත්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සෙනඟ සැලකූ නිසා ඔවුන්ට භයව සිටියේය. නුමුත් හෙරොද්ගේ උපන් දවස පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස මැද නටා හෙරොද් ප්‍රසන්නකළාය. එහෙයින් ඈ ඉල්ලන මොන දෙයක් නුමුත් ඈට දෙන්ට දිවුරුමකින් ඔහු පොරොන්දුවූයේය. ඈද තමාගේ මවු විසින් පොළඹවනු ලැබ: යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා මෙහිදී මට දුන මැනවැයි කීවාය. එවිට රජ ශෝකවූයේය; එහෙත් තමාගේ දිවුරුම් නිසාත්, තමා සමඟ කමින් උන්නවුන් නිසාත්, ඔහු ඒක දෙන්ට ආඥාකොට, කෙනෙකු යවා හිරගෙයිදී යොහන්ගේ හිස කැප්පෙවුවේය. ඔහුගේ හිස තැටියක ලා ගෙනවුත් තරුණියට දෙනලද්දේය. ඈද ඒක ඇගේ මවු ළඟට ගෙනගියාය. ඔහුගේ ගෝලයෝ ඇවිත් මිනිය රැගෙන, ඔහු තැන්පත් කොට, පසුව ගොස් යේසුස්වහන්සේට දැන්වූහ. යේසුස්වහන්සේ ඒ අසා එයින් පිටත්ව, ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක. සමූහයෝ ඒ අසා නුවරවලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය. උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළසේක. සවස්වූ කල ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: මේක කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්මගොස් තිබේ; සමූහයා ගම්වලට ගොස් තමුන්ට කෑම මිලදී ගන්නා පිණිස ඔවුන් යන්ට හැරිය මැනවයි කීවෝය. ඔවුන් යන්ට කමක් නැත; නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හුද: අපට මෙහි තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණක්යයි උන්වහන්සේට කීවෝය. ඒවා මෙහි මා වෙතට ගෙනෙන්නැයි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ සමූහයාට තණකොළ පිට හිඳගන්ට අණකොට, රොටි පහත් මසුන් දෙදෙනක් රැගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදකොට, රොටි කඩා ගෝලයන්ට දුන්සේක, ගෝලයෝද සමූහයන්ට දුන්නෝය. සියල්ලෝම කා තෘප්තියට පැමිණියෝය. ඔව්හු කැඩූ කැබෙලිවලින් ඉතිරි ඒවා එක්කොට පැස් දොළොසක් පුරවාගත්තෝය. ස්ත්‍රීන්ද දරුවන්ද හැර කෑවාවූ පුරුෂයෝ පන්දහසක් පමණ වූහ.

ශු. මතෙව් 14:1-21 Sinhala New Revised Version (NRSV)

එසමයෙහි යුව රජ වූ හෙරොද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා, “මේ, මළවුන් කෙරෙන් නැඟිට සිටින ස්නාවක ජොහන් ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසා ය”යි තමාගේ මෙහෙකරුවන්ට කී ය. මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය. මෙසේ කෙළේ, “ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි. ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය. එහෙත්, හෙරොද්ගේ උපන් දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියෙහි රඟ පා හෙරොද්ගේ මන පිනවූවා ය. එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. ඈ ද සිය මවගේ උපදෙස් අනුව, “ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා මෙහි දී මට දුන මැනවැ”යි කීවා ය. ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත්, තමාගේ දිවුරුම නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත්, ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අණ දී, කෙනෙකු යවා හිරගෙදර දී ජොහන්ගේ හිස සිඳ වී ය. ඒ හිස තැටියක ලා ගෙනැවිත් තරුණියට දෙන ලද්දේ ය. ඈ එය සිය මව වෙත ගෙනාවා ය. ජොහන්ගේ ගෝලයෝ අවුත් මෘත දේහය ගෙන ගොස්, තැන්පත් කොට, ඉක්බිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වූ හ. ජේසුස් වහන්සේ ඒ අසා එතැනින් නික්ම, ඔරුවකින් හුදකලා තැනකට වෙන් ව වැඩිය සේක. ජනකාය ඒ අසා නුවරවලින් පිටත් ව අවුත් උන් වහන්සේ පස්සේ පයින් ගියහ. උන් වහන්සේ ගොඩ බැස, විශාල ජනකායක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ගේ රෝගීන් සුවපත් කළ සේක. සවස් වූ කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ. “ඔවුන් යවන්නට වුවමනාවක් නැත; ඔබ ඔවුන්ට කන්න දෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු ද, “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැ”යි උන් වහන්සේට කී හ. “ඒවා මෙහි මා වෙත ගෙනෙන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. තණ කොළ මත හිඳගන්නට ජනකායට අණ කොට, උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදය පවසා, රොටි කඩා ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ද එය සෙනඟට දුන්හ. හැම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඔව්හු ඉතිරි කැබලි එක් කොට කූඩා දොළසක් පුරවාගත්හ. ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑම කෑ පුරුෂයෝ පන්දහසක් පමණ වූ හ.

ශු. මතෙව් 14:1-21 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මතෙව් 14:1-21 New International Version (NIV)

At that time Herod the tetrarch heard the reports about Jesus, and he said to his attendants, “This is John the Baptist; he has risen from the dead! That is why miraculous powers are at work in him.” Now Herod had arrested John and bound him and put him in prison because of Herodias, his brother Philip’s wife, for John had been saying to him: “It is not lawful for you to have her.” Herod wanted to kill John, but he was afraid of the people, because they considered John a prophet. On Herod’s birthday the daughter of Herodias danced for the guests and pleased Herod so much that he promised with an oath to give her whatever she asked. Prompted by her mother, she said, “Give me here on a platter the head of John the Baptist.” The king was distressed, but because of his oaths and his dinner guests, he ordered that her request be granted and had John beheaded in the prison. His head was brought in on a platter and given to the girl, who carried it to her mother. John’s disciples came and took his body and buried it. Then they went and told Jesus. When Jesus heard what had happened, he withdrew by boat privately to a solitary place. Hearing of this, the crowds followed him on foot from the towns. When Jesus landed and saw a large crowd, he had compassion on them and healed their sick. As evening approached, the disciples came to him and said, “This is a remote place, and it’s already getting late. Send the crowds away, so they can go to the villages and buy themselves some food.” Jesus replied, “They do not need to go away. You give them something to eat.” “We have here only five loaves of bread and two fish,” they answered. “Bring them here to me,” he said. And he directed the people to sit down on the grass. Taking the five loaves and the two fish and looking up to heaven, he gave thanks and broke the loaves. Then he gave them to the disciples, and the disciples gave them to the people. They all ate and were satisfied, and the disciples picked up twelve basketfuls of broken pieces that were left over. The number of those who ate was about five thousand men, besides women and children.