ශු. මතෙව් 14:1-14

ශු. මතෙව් 14:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙකල යේසුස්වහන්සේගේ කීර්තිය පිළිබඳව හෙරෝද් ප්‍රාන්ත රජුට අසන්ට ලැබුණේ ය. තම මෙහෙකරුවන් ඇමතූ ඔහු, “මේ යොහන් බව්තීස්ත ය; ඔහු මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි පැවසී ය. මන්ද හෙරෝද්, තම සහෝදරයා වූ පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා, යොහන් අල්ලා බැඳ, සිරගත කරනු ලැබ තිබිණ. එසේ වූයේ, “ඇය තියා ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් ඔහුට කියා තිබූ බැවිණි. ඔහු මරා දැමීමට වුවමනා වුව ද, ඔහු දිවැසිවරයෙකැයි ජනයා සැලකූ නිසා, හෙරෝද් ඔවුනට බය වූයේ ය. එහෙත් හෙරෝද්ගේ උපන් දිනය පැමිණි කල, හෙරෝදියස්ගේ දියණිය, පිරිස ඉදිරියේ නැටුමක් නටා, හෙරෝද් ප්‍රීතියට පත් කළෙන්, ඇය ඉල්ලන කවරක් වුව දෙන්නට හෙරෝද් ඇයට දිවුරුමකින් පොරොන්දු විය. තම මව විසින් පොලඹවන ලද ඈ, “යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා, මට මෙහි ගෙනත් දෙන්නැ” යි කීවා ය. රජු ඉන් දැඩි සිත් තැවුලට පත් වුව ද, තම දිවුරුම් නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත් එය දීමට අණ කොට, සිර ගෙදරට යවා, යොහන්ගේ හිස ගසවාලී ය. ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත්, දැරියට දෙන ලදී. ඈ එය තම මව වෙත ගෙන ගියා ය. ඔහුගේ ගෝලයෝ පැමිණ, ඔහුගේ දේහය ගෙන ගොස්, එය වළලා, ඉන්පසු යේසුස්වහන්සේට එපවත් දැන්වූහ. ඒ ඇසූ කල, යේසුස්වහන්සේ එම පෙදෙස හැර, ඔරුවක නැග, තනි ව හුදකලා තැනකට ගිය සේක. එහෙත් ජනයා ඒ අසා, නගරවල සිට ගොඩ බිමින් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, විශාල ජනකායක් දුටු සේක්, ඔවුනට අනුකම්පා කර, ඔවුන්ගේ රෝගීන් සුව කළ සේක.

ශු. මතෙව් 14:1-14 Sinhala Revised Old Version (SROV)

එසමයෙහිදී දේශාධිපතිවූ හෙරොද් යේසුස්වහන්සේගේ කීර්තිය ගැන අසා: මොහු යොහන් බව්තීස්තය; ඔහු මළවුන්ගෙන් නැගිට සිටියි. ඒ නිසා ඔහු තුළ මේ බලපරාක්‍රම ක්‍රියාකරන්නේයයි තමාගේ මෙහෙකරුවන්ට කීවේය. මක්නිසාද හෙරොද් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා යොහන් අල්වා බැඳ හිරගෙයි දමා තිබුණේය. මෙසේ කළේ: ඈ තබාගැන්ම ඔබට යුතු නැතැයි යොහන් ඔහුට කී නිසාය. ඔහු යොහන් මරන්ට කැමතිව සිටි නුමුත්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සෙනඟ සැලකූ නිසා ඔවුන්ට භයව සිටියේය. නුමුත් හෙරොද්ගේ උපන් දවස පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස මැද නටා හෙරොද් ප්‍රසන්නකළාය. එහෙයින් ඈ ඉල්ලන මොන දෙයක් නුමුත් ඈට දෙන්ට දිවුරුමකින් ඔහු පොරොන්දුවූයේය. ඈද තමාගේ මවු විසින් පොළඹවනු ලැබ: යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා මෙහිදී මට දුන මැනවැයි කීවාය. එවිට රජ ශෝකවූයේය; එහෙත් තමාගේ දිවුරුම් නිසාත්, තමා සමඟ කමින් උන්නවුන් නිසාත්, ඔහු ඒක දෙන්ට ආඥාකොට, කෙනෙකු යවා හිරගෙයිදී යොහන්ගේ හිස කැප්පෙවුවේය. ඔහුගේ හිස තැටියක ලා ගෙනවුත් තරුණියට දෙනලද්දේය. ඈද ඒක ඇගේ මවු ළඟට ගෙනගියාය. ඔහුගේ ගෝලයෝ ඇවිත් මිනිය රැගෙන, ඔහු තැන්පත් කොට, පසුව ගොස් යේසුස්වහන්සේට දැන්වූහ. යේසුස්වහන්සේ ඒ අසා එයින් පිටත්ව, ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක. සමූහයෝ ඒ අසා නුවරවලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය. උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළසේක.

ශු. මතෙව් 14:1-14 Sinhala New Revised Version (NRSV)

එසමයෙහි යුව රජ වූ හෙරොද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා, “මේ, මළවුන් කෙරෙන් නැඟිට සිටින ස්නාවක ජොහන් ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසා ය”යි තමාගේ මෙහෙකරුවන්ට කී ය. මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය. මෙසේ කෙළේ, “ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි. ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය. එහෙත්, හෙරොද්ගේ උපන් දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියෙහි රඟ පා හෙරොද්ගේ මන පිනවූවා ය. එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. ඈ ද සිය මවගේ උපදෙස් අනුව, “ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා මෙහි දී මට දුන මැනවැ”යි කීවා ය. ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත්, තමාගේ දිවුරුම නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත්, ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අණ දී, කෙනෙකු යවා හිරගෙදර දී ජොහන්ගේ හිස සිඳ වී ය. ඒ හිස තැටියක ලා ගෙනැවිත් තරුණියට දෙන ලද්දේ ය. ඈ එය සිය මව වෙත ගෙනාවා ය. ජොහන්ගේ ගෝලයෝ අවුත් මෘත දේහය ගෙන ගොස්, තැන්පත් කොට, ඉක්බිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වූ හ. ජේසුස් වහන්සේ ඒ අසා එතැනින් නික්ම, ඔරුවකින් හුදකලා තැනකට වෙන් ව වැඩිය සේක. ජනකාය ඒ අසා නුවරවලින් පිටත් ව අවුත් උන් වහන්සේ පස්සේ පයින් ගියහ. උන් වහන්සේ ගොඩ බැස, විශාල ජනකායක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ගේ රෝගීන් සුවපත් කළ සේක.

ශු. මතෙව් 14:1-14 Sinhala New Revised Version 2018 (SNRV)