ශු. මතෙව් 12:1-8

ශු. මතෙව් 12:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එකල යේසුස්වහන්සේ සබත් දවසේදී කුඹුරු යායක් මැදින් ගමන් ගත් සේක. කුස ගිනි වූ උන්වහන්සේගේ ගෝලයෝ, ධාන්‍ය කරල් කඩා, කන්නට වූහ. පරිසිවරු ඒ දැක, “බලන්න! ඔබගේ ගෝලයෝ සබතේදී නීති විරෝධී දෙයක් කරති” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුස ගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද? ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, පූජකයනට විනා ඔහුටත්, තම සගයින්ටත් කෑමට අකැප පිදුම් රොටි ගෙන කෑ හැටි? නොහොත්, දේව මාලිග පූජකයින් සබතේදී සබත් නීති කඩ කළ පසුව ද, නිදොස් ව සිටින බැව් ව්‍යවස්ථාවෙහි ඔබ කියවා නැද්ද? මා ඔබට කියන්නේ, දේව මාලිගයට වඩා උතුම් කෙනෙක් මෙහි සිටින වගයි. ‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’ යන්නෙහි අරුත ඔබ දැන සිටියා නම්, නිදොස් අයට වරද තබන්නේ නැත. මන්ද මනුෂ්‍ය පුත්‍රයාණෝ සබත් දවසේ ස්වාමියාණෝ යැ” යි පැවසූ සේක.

ශු. මතෙව් 12:1-8 Sinhala Revised Old Version (SROV)

එසමයෙහිදී යේසුස්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ බඩගිනිව කරල් කඩා කන්ට පටන්ගත්තෝය. ඵරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය. උන්වහන්සේ කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද බඩගිනිවූ කල්හි කළ දේ, එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද? නොහොත් දේවමාළිගාවෙහි පූජකයන් සබත් දවසේදී සබත් කඩකොට නිවැරදිව සිටින බව ව්‍යවස්ථාවෙහි නුඹලා කියවා නැද්ද? නුමුත් නුඹලාට කියමි: දේවමාළිගාවට වඩා උතුම්වූ කෙනෙක් මෙහි සිටියි. නුමුත්: මම පූජාවට නොව කරුණාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා දැනගන සිටියා නම් නිවැරදිකාරයන් පිට වරද තබන්නේ නැත. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියායයි ඔවුන්ට කීසේක.

ශු. මතෙව් 12:1-8 Sinhala New Revised Version (NRSV)

එකල සබත් දිනක දී ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බඩගිනි ව කරල් කඩා කන්නට පටන්ගත්හ. පරිසිවරු ඒ දැක, “බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ. උන් වහන්සේ කතා කොට ඔවුන්ට මෙසේ වදාළ සේක: “දාවිත් රජු තමාට ද සිය පිරිවරට ද බඩගිනි වූ කල්හි කළ දේ, එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන්ට මිස තමාට වත්, තම පිරිවරට වත් කන්න යුතු නැති පිදූ රොටි කෑ බව ඔබ කියවා නැද් ද? නොහොත් දේව මාලිගාවෙහි පූජකයන් සබත් දවසේ දී සබත් නීතිය කඩ කළත්, නිදොස් ව සිටින බව ව්‍යවස්ථාවලියෙහි කියවා නැද් ද? එහෙත්, මම ඔබට කියමි, දේව මාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති. ‘මම යාග පූජාවට නොව, දයානුකම්පාවට කැමැත්තෙමි’ යන කීමේ තේරුම ඔබ දැන සිටියහු නම්, නිදොස් අය පිට වරද නොතබනු ඇත. මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය.”

ශු. මතෙව් 12:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

එකල සබත් දිනක දී ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බඩගිනි ව කරල් කඩා කන්නට පටන්ගත්හ. පරිසිවරු ඒ දැක, “බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ. උන් වහන්සේ කතා කොට ඔවුන්ට මෙසේ වදාළ සේක: “දාවිත් රජු තමාට ද සිය පිරිවරට ද බඩගිනි වූ කල්හි කළ දේ, එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන්ට මිස තමාට වත්, තම පිරිවරට වත් කන්න යුතු නැති පිදූ පූප කෑ බව ඔබ කියවා නැද් ද? නොහොත් දේව මාලිගාවෙහි පූජකයන් සබත් දවසේ දී සබත් නීතිය කඩ කළත්, නිදොස් ව සිටින බව ව්‍යවස්ථාවලියෙහි කියවා නැද් ද? එහෙත්, මම ඔබට කියමි, දේව මාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති. ‘මම යාග පූජාවට නොව, දයානුකම්පාවට කැමැත්තෙමි’ යන කීමේ තේරුම ඔබ දැන සිටියහු නම්, නිදොස් අය පිට වරද නොතබනු ඇත. මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය.”