ශු. ලූක් 19:37-46

ශු. ලූක් 19:37-46 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උන්වහන්සේ ඔලීව කඳු බෑවුමට ළඟා වූ කල, උන්වහන්සේගේ මුළු ගෝල සමූහයා, ප්‍රීති ප්‍රමෝද වන්නටත්, තමන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන උස් හඬින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නටත් වූයේ, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන රජ්ජුරුවන් ආශිර්වාදිත ය!” “ස්වර්ගයෙහි සාමය ය! උසස් තැන්හි තේජස යැ!” යි කියමිනි. සමූහයා අතර සිටි ඇතැම් පරිසිවරු යේසුස්වහන්සේ අමතා, “ගුරුතුමනි, ඔබගේ ගෝලයින්ට තරවටු කරන්නැ” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කියන්නම්; මොවුන් නිහඬ වුවහොත්, මේ ගල් හඬ නගාවි” යි පැවසූහ. උන්වහන්සේ යෙරුසලම වෙත ළඟා වී, නගරය දුටු කල, එය ගැන වැලපෙමින්, “අහෝ! නුඹ, නුඹට සාමය සලසන දෑ ගැන මේ දවසේදීවත් දැන සිටියා නම්! එහෙත් ඒවා නුඹේ ඇස්වලින් සඟවනු ලැබ තිබේ. නුඹේ සතුරන් නුඹට එරෙහිව ගොඩැලි නගා, නුඹ වටලා, හැම අතින් ම නුඹ කොටු කරන දවස් නුඹ පිට පැමිණෙයි. ඔවුන් නුඹේ දරුවන් සමඟ නුඹ පොළොවේ ගසනු ඇත. තවද ඔවුන් නුඹ තුළ ගලක් පිට ගලක් තියන්නට හරින්නේ නැත. මන්ද දෙවියන්වහන්සේ නුඹලා බැහැදැක්මේ කාලය නුඹලා හැඳින ගත්තේ නැතැ” යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ දේව මාලිගයට ඇතුල් ව, එහි සිටි වෙළඳාම් කළවුන් පලවා හැරියේ, “ලියා තිබෙන්නේ, ‘මගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’ කියායි. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කර තිබේ යයි කියමිනි.”

ශු. ලූක් 19:37-46 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ ඔලීව කන්දේ බැස්ම ළඟට පැමිණි කල්හි, මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්ටත් පටන්ගෙන: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශීර්වාදලත්තෙක්ය. ස්වර්ගයෙහි සමාදානයද ඉතා උස්තැන්හි මහිමයද වේවයි කීවෝය. එවිට සමූහයා අතරෙන් සමහර ඵරිසිවරු: ආචාරිනි, ඔබගේ ගෝලයන්ට තරවටුකළ මැනවයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ උත්තරදෙමින්: ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමියි කීසේක. උන්වහන්සේ ළංවී, නුවර දැක, ඒ ගැන හඬමින් අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ. නුඹ විමසා බලන කාලය නුඹ නොදැන සිටි බැවින්, නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස්වැටියක් නගා, නුඹ වටකොට, සියලු දිසාවෙන්ම නුඹ කොටුකරගෙන, නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක. උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, විකුණන්නන් බැහැරකරන්ට පටන්ගෙන: මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් වන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කර තිබේයයි ඔවුන්ට කීසේක.

ශු. ලූක් 19:37-46 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේ ඔලීව කන්දේ බෑවුම ළඟට පැමිණි කල්හි, මුළු ශ්‍රාවක සමූහයා ප්‍රීති වන්නටත් තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටත් පටන් ගෙන, “සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේ වා! ස්වර්ගයෙහි සාමය ද අති උසස් තැන්හි මහිමය ද වේ වා!”යි කී හ. එවිට සමූහයා අතරෙන් සමහර පරිසිවරු, “ගුරුදේවයෙනි, ඔබගේ ශ්‍රාවකයන්ට තරවටු කළ මැනවැ”යි උන් වහන්සේට කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, “ඔවුන් නිහඬ වූවොත්, ගල්, මොරගසනු ඇතැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙ‍සේ වදාළ සේක: “අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත. ඔබේ සතුරන් බලකොටු තනා, ඔබ සිසාරා, සතර දිගින් ඔබ වටලන දවස් පැමිණෙන්නේ ය. ඔව්හු ඔබ ද ඔබ තුළ සිටින දරු කැල ද පොළොවේ ගසා, ගලක් පිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝ ය. මන්ද, දෙවියන් වහන්සේ ඔබ ගළවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනි.” උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු වී, එහි සිටි වෙළඳුන් පලවා හරින්න පටන්ගෙන, “ ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’යි ලියා ඇත. එහෙත් ඔබ එය සොරුන්ගේ ගුහාවක් කර තිබේ ය”යි ඔවුන්ට වදාළ සේක.

ශු. ලූක් 19:37-46 Sinhala New Revised Version 2018 (SNRV)