ශු. ලූක් 12:22-26

ශු. ලූක් 12:22-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද කියා ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ශරීරය ගැනවත් කනස්සලු නො වන ලෙසයි. මන්ද ජීවිතය, කෑමට වඩා වටිනා දෙයකි. ශරීරය, ඇඳුමට වඩා වටිනා දෙයකි. කපුටන් ගැන සිතා බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත් නැත. උන්ට ගබඩා නැත; අටු-කොටු නැත. එහෙත් දෙවියන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. පක්ෂීන්ට වඩා ඔබ කොතරම් වටිනවා ද! කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද? එතරම් සුළු දෙයක් වුවත් ඔබට කර ගත නො හැකි නම්, අනිකුත් දෑ ගැන කනස්සලු වන්නේ මන්ද?

ශු. ලූක් 12:22-26 Sinhala Revised Old Version (SROV)

තවද උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: එහෙයින් නුඹලාට කියමි–කුමක් කමුද කියා ජීවිතය ගැනවත්–කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. මක්නිසාද කෑමට වඩා ජීවිතයද ඇඳීමට වඩා ශරීරයද උතුම්ය. කපුටුවන් ගැන කල්පනාකර බලන්න: උන් වපුරන්නේවත් කපන්නේවත් නැත; උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැත; නුමුත් දෙවියන්වහන්සේ උන් පෝෂණයකරනසේක. නුඹලා පක්ෂීන්ට වඩා කොපමණ වටින්නහුද! කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක්වත් වැඩිකරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද? ඉඳින් සුළු දෙයක්වත් කරගන්ට නුඹලාට බැරි නම්, නුඹලා අනික් කාරණා ගැන කනස්සලුවන්නේ මක්නිසාද?