ලෙවී කථාව 21:1-24
ලෙවී කථාව 21:1-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින් අමතා මෙසේ කියන්න: ‘මිය ගිය තම නෑයකු වෙනුවෙන් පූජකයකු අපවිත්‍ර නො විය යුතු ය. එහෙත් ඔහුගේ ළඟ නෑයින් වූ ඔහුගේ මව හෝ ඔහුගේ පියා හෝ ඔහුගේ පුතා නැතහොත් දියණිය හෝ ඔහුගේ සහෝදරයා හෝ සැමියකු නැති බැවින් ඔහුගෙන් යැපෙන ඔහුගේ අවිවාහක සහෝදරිය හෝ යන කෙනකුගේ මරණය හේතු කොට පමණක් අපවිත්‍රවීමට ඔහුට පුළුවන. සැමියකු වශයෙන් තම නෑයින් අතර තමා අපවිත්‍ර කර ගෙන, ඔහු තමා දූෂ්‍ය කර ගැනීම නො කළ යුතු ය. “ ‘පූජකයින් තම හිස මුඩු කර නො ගත යුතු ය. තම රැවුල් අග්ගිස් කපා දැමීම නො කළ යුතු ය. තම සිරුර කපා නො ගත යුතු ය. ඔවුන් තම දෙවියන්වහන්සේට ශුද්ධ ව සිටිය යුතු ය. ඔවුන් තම දෙවියන්වහන්සේගේ නාමය අපවිත්‍ර නො කළ යුතු ය. මන්ද ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය හෙවත් ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා ඔප්පු කරන්නෝ ඔවුහු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව පැවතිය යුතු ය. “ ‘පූජකයින් ඔවුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධ බැවින් වේශ්‍යාවක ව දූෂ්‍ය වූ හෝ තම සැමියාගෙන් දික්කසාද වූ හෝ ස්ත්‍රියක ආවාහ කර ගැනීම නො කළ යුතු ය. පූජකයින් ඔබේ දෙවියන්වහන්සේගේ භෝජනය පිළිගන්වන බැවින්, ඔවුන් ශුද්ධ වග සලකන්න. ඔබ ශුද්ධවත් කරන ඔබේ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින්, පූජකයින් ද ශුද්ධ සේ සලකන්න. “ ‘පූජකයකුගේ දියණියක වෙසඟනක වී, තමා දූෂ්‍ය කරගන්නී නම්, ඈ තම පියා ද දූෂ්‍ය කරන්නී ය. ඇය ගින්නෙහි පුලුස්සා දැමිය යුතු ය. “ ‘තමාගේ සෙසු සහෝදරයින් අතරින් හිසේ ආලේප තෙල් වත් කරනු ලැබ, පූජක වස්ත්‍ර ඇඟලීමට පූජකාලේපය ලද්දා වන උත්තම පූජකයා, තම හිසකේ විදහා නො ගත යුතු ය; තමන් හැඳිවත් ඉරා නො ගත යුතු ය. මළ මිනියක් ඇති කවර තැනකටවත් ඔහු නො යා යුතු ය. තම පියාගේ හෝ තම මවගේ හෝ මිනිය වෙත ළං වීමෙන් පවා ඔහු අපවිත්‍ර නො විය යුතු ය. ඔහු තම දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය හැර නො ගිය යුතු ය. එය අපවිත්‍ර නො කළ යුතු ය. මන්ද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෙලින් ඔහු කැප කර ඇති බැවිනි. මම ස්වාමින්වහන්සේ ය. “ ‘ඔහු විවාහ වන කාන්තාව කන්‍යාවියක විය යුතු ය. වැන්දඹු හෝ දික්කසාද හෝ වූ කාන්තාවක්වත්, වෙසඟනක ව දූෂ්‍ය වූ තැනැත්තියක්වත් ඔහු ආවාහ කර නො ගත යුතු ය. ඔහු ආවාහ කර ගත යුත්තේ, තම ජාතියට අයත් කන්‍යාවියක ය. එලෙස ඔහු තම ජනයා මධ්‍යයේ තම දරු පරපුර දූෂිත නො කළ යුතු ය. ඔහු ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මම යැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන් අමතා මෙසේ කියන්න: ‘මතු පරම්පරාවන්හි දී ඔබෙන් පැවත එන්නන් අතර ඇද පලුදු ඇති කිසිවකු ස්වකීය දෙවියන්වහන්සේගේ භෝජනය පිළිගැන්වීමට ළං නො විය යුතු ය. ඇද පලුදු ඇති කිසිවකු එසේ ළං නො විය යුතු ය. අන්ධ, කොර, විරූපී හෝ විකලාංග ඇති කිසිවකු, අතක් නැතහොත් පයක් අබ්බගාත වූවකුවත්, කුදු වූ, කුරු වූ හෝ ඇසක යම් දෝෂයක් ඇතියකුවත්, වණ හෝ දද ඇතියකුවත්, අණ්ඩ-කෝෂය තැලුනු කෙනකුවත් යන වශයෙන් පූජක ආරොන්ගෙන් පැවත එන ඇද පලුදු ඇති කිසිවකු ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා පිළිගැන්වීමට ළං නො විය යුතු ය. එබන්දකු, ඇද පලුදු ඇතියකු බැවින්, තමන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔප්පු කිරීමට ඔහු ළං නො විය යුතු ය. ඔහුගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ආහාර පූජාවල ශුද්ධ මෙන් ම අතිශුද්ධ දෑ වැළඳීමට ඔහුට පුළුවන. එහෙත්, තමාට ඇද පලුද්දක් ඇති බැවින්, තිරය වෙත ළඟාවීම හෝ පූජාසනය වෙත ළං වීම හෝ ඔහු නො කළ යුතු ය. මගේ ශුද්ධස්ථානය ඔහු නො කෙලෙසිය යුතු ය. ඔවුන් ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මම යැ’ යි” පැවසූ සේක. මෙසේ මෝසෙස්, ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත්, සියලු ඉශ්‍රායෙල් පුත්‍රයින්ටත් එපවත් පැවසී ය.
ලෙවී කථාව 21:1-24 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ගේ පුත්‍රවූ පූජකයන්ට කථාකරමින් මෙසේ කියන්න–කිසිවෙක් තමාගේ සෙනඟ අතරේ මළවුන් උදෙසා අපවිත්‍ර නොවිය යුතුය; එහෙත් ඔහුට කිට්ටුවූ ඔහුගේ නෑයා උදෙසා එනම් තමාගේ මවු උදෙසාද තමාගේ පියා උදෙසාද තමාගේ පුත්‍රයා උදෙසාද තමාගේ දුව උදෙසාද තමාගේ සහෝදරයා උදෙසාද, පුරුෂයෙකු නොගත් තමා ළඟ ඉන්න කන්‍යාවක්වූ තමාගේ සහෝදරී උදෙසාද අපවිත්‍රවෙන්ට ඔහුට පුළුවන. තමාගේ සෙනඟ අතරේ නායකයෙක්වූ ඔහු තමා දූෂණයවන ලෙස අපවිත්‍ර නොවිය යුතුය. ඔව්හු තමුන්ගේ හිස් මුඩු නොකරත්වා, රුවුළේ කොන් බූනොගාත්වා, ඔවුන්ගේ ශරීරයෙහි කිසි කැපීමක් නොකරත්වා. ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ස්වාමීන්වහන්සේගේ ගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය. ඔව්හු වේශ්‍යාවක්වත් කිලුටු කරනු ලැබූ තැනැත්තියෙක්වත් පුරුෂයාගෙන් පහකරනු ලැබූ ස්ත්‍රියෙක්වත් පාවා නොගනිත්වා. මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ශුද්ධ කෙනෙක්ය. එබැවින් නුඹ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු නුඹේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු නුඹට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය. තවද යම්කිසි පූජකයෙකුගේ දුවක් වේශ්‍යාකමෙන් තොමෝම දූෂණයවන්නීනම් ඈ තමාගේ පියාට අපහාසකරන්නීය. ඈ ගින්නෙන් පුලුස්සා දමනු ලැබිය යුතුය. තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය; ඔහු කිසි මළකඳක් ළඟට නොයා යුතුය, තමාගේ පියා උදෙසාවත් තමාගේ මවු උදෙසාවත් අපවිත්‍ර නොවිය යුතුය; ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුය, තමාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය කිලුටු නොකළ යුතුය; මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෛලය නමැති ඔටුන්න ඔහු පිට තිබේ. මම ස්වාමීන්වහන්සේ ය. ඔහු භාර්යාවක් ඇගේ කන්‍යා භාවයෙහිදී පාවාගනීවා. ඔහු වැන්දඹුවක්වත් අත්හරිනලද ස්ත්‍රියෙක්වත් දූෂණයවූ තැනැත්තියෙක්වත් වේශ්‍යාවක්වත් පාවානොගෙන තමාගේම සෙනඟ අතරෙන් කන්‍යාවක් භාර්යාව කොට පාවාගත යුතුය. ඔහු තමාගේම සෙනඟ අතරෙහි තමාගේ වංශය දූෂණයනොකොට සිටිය යුතුය. මක්නිසාද මම ඔහු විශුද්ධකරන ස්වාමීන්වහන්සේ යයි කීසේක. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ට මෙසේ කියන්න–නුඹේ වංශයේ පරම්පරාවලදී ශරීරයේ කැලලක් ඇති කිසිවෙක් ඇද්ද, හෙතෙම තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරන්ට ළංනොවේවා. කැලලක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත් ළංනොවිය යුතුය. අන්ධයෙක්වත් කොරෙක්වත් මුක්කමෙක්වත් විකල් අංග ඇත්තෙක්වත්, අත පය කැඩුණු කෙනෙක්වත්, කුදෙක්වත් මිට්ටෙක්වත් ඇසේ සුදක් ඇති කෙනෙක්වත් කබොල්ලක් ඇත්තෙක්වත් දද ඇත්තෙක්වත් තැළුණු අණ්ඩ ඇත්තෙක්වත් ළංනොවිය යුතුය; පූජකවූ ආරොන්ගේ වංශයෙහි ශරීරයේ කැලලක් ඇති කිසි මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ දවන පූජා ඔප්පුකරන්ට ළංනොවිය යුතුය; ඔහුට පලුදුවක් ඇති බැවින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔප්පුකරන පිණිස ළංනොවිය යුතුය. අති ශුද්ධවූද ශුද්ධවූද දේවලින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔහුට කන්ට පුළුවන. නුමුත් ඔහුට කැලලක් තිබෙන බැවින් මාගේ ශුද්ධස්ථානය දූෂණයනොකරන පිණිස ඔහු තිරයෙන් ඇතුළට පැමිණෙන්ටවත් පූජාසනයට ළංවෙන්ටවත් යුතු නැත. මක්නිසාද මම ඒවා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ යයි කීසේක. මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද එසේ කීයේය.
ලෙවී කථාව 21:1-24 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය. එහෙත්, ඔහුගේ නෑයන් වන තම මවගේ හා පියාගේ ද තම පුතාගේ හා දුවගේ ද තම සහෝදරයාගේ ද අවිවාහක කන්‍යාවක වන තම සොහොයුරීගේ ද අවමංගල්‍යයන්ට ඔහුට සහභාගි විය හැක. එහෙත්, විවාහක සොහොයුරියකගේ අවමංගල්‍යයකට සහභාගි වී ඔහු අපවිත්‍ර නොවිය යුතු ය. “කිසි ම පූජකයෙකු තම හිස මුඩු කොට නොගත යුතු ය. තම රැවුලේ අගිස් කපා නොදැමිය යුතු ය. තමාගේ ශරීරයේ කැපීමක් කර නොගත යුතු ය. ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය. ඔහු වෙසඟනක හෝ කන්‍යාවක නොවන ස්ත්‍රියක හෝ සැමියා විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තම දෙවියන් වහන්සේට කැප වූ කෙනෙකි. පූජකවරයා දෙවියන් වහන්සේට රොටි පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි. යම් පූජකයෙකුගේ දුවක වෙසඟනක මෙන් හැසුරුණොත්, ඈ තම පියාට නින්දා කරයි. ඈ ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය. “හිස මත ආලේප තෛලය වත් කරනු ලැබ, පූජක වස්ත්‍ර ලාගැනීම සඳහා පූජකවරය ලත් පූජකයන් අතර සිටින නායක පූජකයා තම හිසකෙස් අවුල් කරනොගත යුතු ය. තම වස්ත්‍ර ඉරා නොගත යුතු ය. ඔහු කිසි මළසිරුරක් ළඟට නොයා යුතු ය. තම පියාගේ වත්, මවගේ වත් අවමංගල්‍යයට ගොස් අපවිත්‍ර නොවිය යුතු ය. තවද, ඔහු ශුද්ධස්ථානයෙන් පිට වී යාමෙන්, දේව ශුද්ධස්ථානයට නින්දා නොකළ යුතු ය. පූජකවරයේ දී ලත් දෙවියන් වහන්සේගේ ආලේප තෛලය ඔහු මත ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. පූජකයෙකු විවාහ විය යුතු කන්‍යාවක සමඟ ය. ඔහු වැන්දඹුවක හෝ දික්කසාද ස්ත්‍රියක හෝ දූෂණ වූ තැනැත්තියක හෝ වෙසඟනක ව සිටි ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තමාගේ ම ඥාතීන් අතරෙන් කන්‍යාවක සරණ පාවාගත යුතු ය. මෙලෙස තම සෙනඟ අතර ඔහුගේ දරු පරපුර අපවිත්‍ර නොවනු ඇත. මම ඔහු විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ වෙමි.” සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “පූජක පරපුරෙන් පැවතෙන කිසිවෙකුට ශාරීරික කැළලක් තිබේ නම්, එවැන්නෙකු දෙවියන් වහන්සේට රොටි පූජා කිරීමට ළඟා නොවිය යුතු ය. කැළලක් තිබෙන කෙනෙකු හෝ අන්ධයෙකු හෝ කොරෙකු හෝ මුක්කමෙකු හෝ අංග විකලයෙකු හෝ අත පය කැඩුණු කෙනෙකු හෝ කුදෙකු හෝ කුරු අයෙකු හෝ ඇස් රෝගයක් ඇති අයෙකු හෝ චර්ම රෝග ඇති අයෙකු හෝ දද ඇති අයෙකු හෝ තැළුණු අණ්ඩ ඇති අයෙකු හෝ පූජා කිරීමට ළං නොවිය යුතු ය. පූජක ආරොන්ගේ පෙළපතින් පැවතෙන, කැළලක් ඇති කිසිවෙකු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පඬුරු ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. ඔහු තමාගේ දෙවියන් වහන්සේට භෝජනය ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. මන්ද, එවැන්නෙකුට කැළලක් ඇති බැවිනි. එහෙත්, එවැන්නෙකුට අතිශුද්ධ ද ශුද්ධ ද වන දේවලින් තම දෙවියන් වහන්සේට පුදන රොටි වැළඳිය හැක. ඔහුට කැළලක් ඇති බැවින් ඔහු නොකළ යුත්තේ, තිරය කිට්ටුවට යෑම හෝ පූජාසනයකට ළඟා වීම හෝ පමණකි. ඔහු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර නොකළ යුතු ය. මන්ද, මම ඒවා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ වෙමි.” මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට ද මුළු ඉශ්රායෙල් ජනයාට ද එපවත් කී ය.
ලෙවී කථාව 21:1-24 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය. එහෙත්, ඔහුගේ නෑයන් වන තම මවගේ හා පියාගේ ද තම පුතාගේ හා දුවගේ ද තම සහෝදරයාගේ ද අවිවාහක කන්‍යාවක වන තම සොහොයුරීගේ ද අවමංගල්‍යයන්ට ඔහුට සහභාගි විය හැක. එහෙත්, විවාහක සොහොයුරියකගේ අවමංගල්‍යයකට සහභාගි වී ඔහු අපවිත්‍ර නොවිය යුතු ය. “කිසි ම පූජකයෙකු තම හිස මුඩු කොට නොගත යුතු ය. තම රැවුලේ අගිස් කපා නොදැමිය යුතු ය. තමාගේ ශරීරයේ කැපීමක් කර නොගත යුතු ය. ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය. ඔහු වෙසඟනක හෝ කන්‍යාවක නොවන ස්ත්‍රියක හෝ සැමියා විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තම දෙවියන් වහන්සේට කැප වූ කෙනෙකි. පූජකවරයා දෙවියන් වහන්සේට පූප පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි. යම් පූජකයෙකුගේ දුවක වෙසඟනක මෙන් හැසුරුණොත්, ඈ තම පියාට නින්දා කරයි. ඈ ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය. “හිස මත ආලේප තෛලය වත් කරනු ලැබ, පූජක වස්ත්‍ර ලාගැනීම සඳහා පූජකවරය ලත් පූජකයන් අතර සිටින නායක පූජකයා තම හිසකෙස් අවුල් කරනොගත යුතු ය. තම වස්ත්‍ර ඉරා නොගත යුතු ය. ඔහු කිසි මළසිරුරක් ළඟට නොයා යුතු ය. තම පියාගේ වත්, මවගේ වත් අවමංගල්‍යයට ගොස් අපවිත්‍ර නොවිය යුතු ය. තවද, ඔහු ශුද්ධස්ථානයෙන් පිට වී යාමෙන්, දේව ශුද්ධස්ථානයට නින්දා නොකළ යුතු ය. පූජකවරයේ දී ලත් දෙවියන් වහන්සේගේ ආලේප තෛලය ඔහු මත ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. පූජකයෙකු විවාහ විය යුතු කන්‍යාවක සමඟ ය. ඔහු වැන්දඹුවක හෝ දික්කසාද ස්ත්‍රියක හෝ දූෂණ වූ තැනැත්තියක හෝ වෙසඟනක ව සිටි ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තමාගේ ම ඥාතීන් අතරෙන් කන්‍යාවක සරණ පාවාගත යුතු ය. මෙලෙස තම සෙනඟ අතර ඔහුගේ දරු පරපුර අපවිත්‍ර නොවනු ඇත. මම ඔහු විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ වෙමි.” සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “පූජක පරපුරෙන් පැවතෙන කිසිවෙකුට ශාරීරික කැළලක් තිබේ නම්, එවැන්නෙකු දෙවියන් වහන්සේට පූප පූජා කිරීමට ළඟා නොවිය යුතු ය. කැළලක් තිබෙන කෙනෙකු හෝ අන්ධයෙකු හෝ කොරෙකු හෝ මුක්කමෙකු හෝ අංග විකලයෙකු හෝ අත පය කැඩුණු කෙනෙකු හෝ කුදෙකු හෝ කුරු අයෙකු හෝ ඇස් රෝගයක් ඇති අයෙකු හෝ චර්ම රෝග ඇති අයෙකු හෝ දද ඇති අයෙකු හෝ තැළුණු අණ්ඩ ඇති අයෙකු හෝ පූජා කිරීමට ළං නොවිය යුතු ය. පූජක ආරොන්ගේ පෙළපතින් පැවතෙන, කැළලක් ඇති කිසිවෙකු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පඬුරු ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. ඔහු තමාගේ දෙවියන් වහන්සේට භෝජනය ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. මන්ද, එවැන්නෙකුට කැළලක් ඇති බැවිනි. එහෙත්, එවැන්නෙකුට අතිශුද්ධ ද ශුද්ධ ද වන දේවලින් තම දෙවියන් වහන්සේට පුදන පූප වැළඳිය හැක. ඔහුට කැළලක් ඇති බැවින් ඔහු නොකළ යුත්තේ, තිරය කිට්ටුවට යෑම හෝ පූජාසනයකට ළඟා වීම හෝ පමණකි. ඔහු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර නොකළ යුතු ය. මන්ද, මම ඒවා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ වෙමි.” මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට ද මුළු ඉශ්රායෙල් ජනයාට ද එපවත් කී ය.
ලෙවී කථාව 21:1-24 New International Version (NIV)
The LORD said to Moses, “Speak to the priests, the sons of Aaron, and say to them: ‘A priest must not make himself ceremonially unclean for any of his people who die, except for a close relative, such as his mother or father, his son or daughter, his brother, or an unmarried sister who is dependent on him since she has no husband—for her he may make himself unclean. He must not make himself unclean for people related to him by marriage, and so defile himself. “ ‘Priests must not shave their heads or shave off the edges of their beards or cut their bodies. They must be holy to their God and must not profane the name of their God. Because they present the food offerings to the LORD, the food of their God, they are to be holy. “ ‘They must not marry women defiled by prostitution or divorced from their husbands, because priests are holy to their God. Regard them as holy, because they offer up the food of your God. Consider them holy, because I the LORD am holy—I who make you holy. “ ‘If a priest’s daughter defiles herself by becoming a prostitute, she disgraces her father; she must be burned in the fire. “ ‘The high priest, the one among his brothers who has had the anointing oil poured on his head and who has been ordained to wear the priestly garments, must not let his hair become unkempt or tear his clothes. He must not enter a place where there is a dead body. He must not make himself unclean, even for his father or mother, nor leave the sanctuary of his God or desecrate it, because he has been dedicated by the anointing oil of his God. I am the LORD. “ ‘The woman he marries must be a virgin. He must not marry a widow, a divorced woman, or a woman defiled by prostitution, but only a virgin from his own people, so that he will not defile his offspring among his people. I am the LORD, who makes him holy.’ ” The LORD said to Moses, “Say to Aaron: ‘For the generations to come none of your descendants who has a defect may come near to offer the food of his God. No man who has any defect may come near: no man who is blind or lame, disfigured or deformed; no man with a crippled foot or hand, or who is a hunchback or a dwarf, or who has any eye defect, or who has festering or running sores or damaged testicles. No descendant of Aaron the priest who has any defect is to come near to present the food offerings to the LORD. He has a defect; he must not come near to offer the food of his God. He may eat the most holy food of his God, as well as the holy food; yet because of his defect, he must not go near the curtain or approach the altar, and so desecrate my sanctuary. I am the LORD, who makes them holy.’ ” So Moses told this to Aaron and his sons and to all the Israelites.