යෝෂුවා 2:8-13

යෝෂුවා 2:8-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔවුන් නිදාගන්නට පෙර, ඈ, පියස්ස උඩට ඔවුන් වෙත අවුත්, ඒ මිනිසුන් අමතා, “මා දන්නවා, ස්වාමින්වහන්සේ මේ දේශය ඔබට දී ඇති වග: එනිසා ඔබ ගැන මහත් භීතියක් අප මත පතිත වෙලා. මේ නිසා දේශ වාසී සියල්ලන් භයින් මිලාන වෙලා. මන්ද ඊජිප්තුවෙන් ඔබ පිටත් ව එද්දී, ස්වාමින්වහන්සේ ඔබ උදෙසා රතු මුහුද වියළූ අයුරුත්, යොර්දාන් ගඟෙන් එතෙර සිටි අමෝරි රජුන් දෙදෙනා, සීහොන් හා ඕග් මුළුමනින් විනාශ කරමින්, ඔබ ඔවුන්ට කළ දේත් අපට අසන්නට ලැබුණා. ඒ ඇසූ අපගේ හදවත් දියවී, අප හැම කෙනකුගේ ම ධෛර්යය සිඳී ගොසින්. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉහළ අහසේ ද පහත පොළොවේ ද දෙවියන්වහන්සේ ය. “එබැවින් දැන් මා ඔබට දැක් වූ කරුණාව පරිද්දෙන් ඔබත් මගේ පියාගේ පවුලේ උදවියට කරුණාව දක්වමින් මගේ පියා හා මව ද මගේ සහෝදරයින් හා සහෝදරියන් ද ඔවුන්ට අයත් සියල්ලන් ද වන අපගේ ජීවිත මරණින් බේරන බවට ස්වාමින්වහන්සේගේ නාමයෙන් මට දිවුරන්න. ඒ සඳහා මට ලකුණකින් සහතික වන්නැ” යි කීවා ය.

යෝෂුවා 2:8-13 Sinhala Revised Old Version (SROV)

ඔවුන් නිදාගන්ට පළමුවෙන් ඈ පියස්ස උඩ ඔවුන් වෙතට ඇවිත්, ඒ මනුෂ්‍යයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දේශය නුඹලාට දී තිබෙන බවද නුඹලා නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් නුඹලා නිසා දියවී තිබෙන බවද දනිමි. මක්නිසාද නුඹලා මිසරයෙන් පිටතට එන කල ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙහි රතු මුහුදේ වතුර සිඳෙවු හැටිද නුඹලා විසින් සිඳදමනලද යොර්දානෙන් එතර සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාවූ සීහොන්ටත් ඕග්ටත් නුඹලා කළ දේද ඇසීමුව. ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් දියවගියේය, නුඹලා නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවීය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය. ඉතින් මා නුඹලාට කරුණාකළ බැවින් නුඹලාත් මාගේ පියාගේ පවුලට කරුණාකරමින් මාගේ පියාද මවුද සහෝදරයන්ද සහෝදරියන්ද ඔවුන්ට ඇති සියල්ලන්ද ආරක්ෂාකොට අපේ ප්‍රාණ මරණයෙන් ගළවන හැටියට ස්වාමීන්වහන්සේ ගැන මට දිවුරා සත්‍යවූ ලකුණක් මට දුනමැනවියි ඒ මනුෂ්‍යයන්ට කීවාය.

යෝෂුවා 2:8-13 Sinhala New Revised Version (NRSV)

ඒ මිනිසුන් දෙදෙනා නිදාගන්නට පෙර ඈ පියස්සේ සිටි ඔවුන් වෙත අවුත්, ඔවුන්ට මෙසේ කීවා ය: “සමිඳාණන් වහන්සේ මේ දේශය ඔබට දී තිබෙන බව ද ඔබ නිසා අප අතර භීතිය පැතිරී ගොස් තිබෙන බව ද සියලු දේශ වාසීන් ඔබේ පැමිණීම හේතුකොටගෙන මහත් සේ තැතිගෙන සිටින බව ද මම දනිමි. ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි. ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න. මාගේ පියා ද මව ද සහෝදර සහෝදරියන් ද ඔවුන්ගේ සියලු පවුල් ද ආරක්ෂා කොට, අපේ ජීවිත මරණින් බේරාගන්න.”

යෝෂුවා 2:8-13 Sinhala New Revised Version 2018 (SNRV)

ඒ මිනිසුන් දෙදෙනා නිදාගන්නට පෙර ඈ පියස්සේ සිටි ඔවුන් වෙත අවුත්, ඔවුන්ට මෙසේ කීවා ය: “සමිඳාණන් වහන්සේ මේ දේශය ඔබට දී තිබෙන බව ද ඔබ නිසා අප අතර භීතිය පැතිරී ගොස් තිබෙන බව ද සියලු දේශ වාසීන් ඔබේ පැමිණීම හේතුකොටගෙන මහත් සේ තැතිගෙන සිටින බව ද මම දනිමි. ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත. මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි. ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න. මාගේ පියා ද මව ද සහෝදර සහෝදරියන් ද ඔවුන්ගේ සියලු පවුල් ද ආරක්ෂා කොට, අපේ ජීවිත මරණින් බේරාගන්න.”