ජෝවෙල් 2:1-11

ජෝවෙල් 2:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

පිඹින්න හොරණෑව සියොනෙහි දී; හඬවන්න අනතුරු ඇඟවීම මගේ ශුද්ධ කන්දේදී. දේශයේ වෙසෙන සියල්ලෝ වෙවුලත්වා! මන්ද, ස්වාමින්වහන්සේගේ දවස ළඟා වේ; එය අත ළඟ ම ය. ඒ දවස කළුවර දවසෙකි; අන්ධකාර දවසෙකි; වලාකුළෙන් බර, ඝන අඳුරු දවසෙකි. කඳුයාය හරහා කළුවර පැතිරෙන්නාක් මෙන්, අති මහත්, බලවත් හමුදාවක් පැමිණේ. පරම්පරා අවුරුදු මුළුල්ලේ ම එවැන්නක් ඉහත කිසි කලෙක නො වූ සේ ම මතු ද කිසි කල නො වන්නේ ය. ඔවුනට පෙරටුවෙන් ගින්න කා දමන්නේ ය, ඔවුනට පිටුපසින් ගිනි දැල් ඇවිළෙන්නේ ය. ඔවුනට පෙරටුවෙන් දේශය ඒදන් උයන වැන්න; ඔවුනට පිටුපසින් එය පාළු කතරකි. කිසිවකුදු ඔවුන්ගෙන් බේරී නො යේ. ඔවුන්ගේ පෙනුම අශ්වයින් බඳු ය. අශ්ව බළ ඇණියක් මෙන් ඔවුහු පිම්මේ දුවති. යුද්ධ රථවල වැනි ඝෝෂාවෙන් යුතු ව, කඳු මුදුන් පිට ඔවුහු පැන පැන යන්නේ, ඉපනැලි දවමින් පැතිරෙන ගින්නේ ශබ්දය මෙනි; සටනට පෙළ ගැසුණු බල සේනාවක් මෙනි. ඔවුන් දැකුමෙන් ජාතීහු ගාවිනා විඳිති. හැම මුහුණක් ම සුදුමැලි වී යයි. ඔවුන් දිව එන්නේ රණවිරුවන් මෙනි. පුර පවුරු පිට නැග ගන්නේ හේවායින් මෙනි. ඔවුහු තම පෙළ නො කඩා, සියල්ලෝ එක පෙළට ම යති. ඔවුන් එකිනෙකා හා නො ගැටෙමින්, හැමකෙක් ම තමාට හිමි මං-තීරුවේ ඇදෙති. ඔවුහු තම සේනාංක පෙළ නො බිඳ, ආරක්ෂක ආයුධ-ආම්පන්න බිඳගෙන යති. ඔවුහු පුරවරයට කඩා පනිති; පුර පවුර දිගේ දුව යති. ඔවුහු සොරුන් මෙන් කවුළුවලින් පැන, ගෙවලට ද රිංගා ගනිති. ඔවුන් ඉදිරියේ පොළොව සලිත වේ; අහස වෙව්ලුම්කයි. හිරු සඳු අඳුරු කෙරේ; තරු තවත් නො බැබළේ. ස්වාමින්වහන්සේ ස්වකීය හමුදාව ඉදිරියෙන් සිට තම කටහඬ අවදි කරන සේක. උන්වහන්සේගේ සේනා ගණන් නැති තරම් ය. උන්වහන්සේගේ වචනයට කීකරු වන්නෝ බලවන්තයෝ ය. ස්වාමින්වහන්සේගේ දවස මහ බලවත් ය; එය භයංකර ය; එය දරාගත හැක්කේ කවරකුට ද?

ජෝවෙල් 2:1-11 Sinhala Revised Old Version (SROV)

සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ; ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත. උන්ට පෙරටුවෙන් ගින්නක් නාස්තිකරන්නේය; උන්ට පස්සෙන් ගිනිදැල්ලක් ඇවිළෙන්නේය. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබී, උන්ට පස්සෙන් පාළු කාන්තාරයක් වන්නේය; උන්ගෙන් කිසිවක් නොගැළවුණේය. උන්ගේ පෙනීම අසුන්ගේ පෙනීම මෙන්ය; උන් අසරුවන් මෙන් දුවති. කඳු මුදුන් පිට යන්නාවූ රථ ශබ්දය මෙන්ද ඉපනැලි දවන ගිනිදැල්ලේ ශබ්දය මෙන්ද යුද්ධ පිළිවෙළට සිටින බලවත් සෙනඟක් මෙන්ද උන් පනින්නෝය. උන් ඉදිරියෙහි ජනයෝ වෙවුලති. සියලු මුහුණු සුදුමැලිවී තිබේ. උන් බලවතුන් මෙන් දුවති; යුද්ධකාරයන් මෙන් පවුරට නගිති; උන් තමුන්ගේ මාවත්වලින් අහක් නොවී, එක එකා තම තමාගේ මාර්ගයෙන්ම යන්නෝය. උන් එකිනෙකාට නොහැපී, තම තමාගේ පාරවලම යන්නෝය. උන් යුද්ධායුධ අතරේ වැටුණත් තුවාලවන්නේ නැත. උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති. උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය. ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?

ජෝවෙල් 2:1-11 Sinhala New Revised Version (NRSV)

“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය. ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය. උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි; උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ. උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය. උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත. පෙනුමට උන් අසුන් වැනි ය; උන් දුවන්නේ රණ අසුන් ලෙස ය. අශ්ව රථ ශබ්දය මෙන් ද ගින්නෙහි දැවෙන ඉපනැලි මෙන් ද සටනට පෙළගැසුණු සේනාවක් මෙන් ද ගිරි කුළු මත පැන පැන උහු යති. උන් ඉදිරියේ ජනයෝ වෙවුලති; සියලු මුහුණු මැලවී යයි. රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි. උන් යන විට හැලහැප්පීමක් නැත; මාර්ගයෙන් පිට යාමක් ද නැත. අවි ආයුධ මැදින් කඩා පැන පසු නොබැස ඉදිරියට ම යති. උන් නගරයට කඩා පනිති; පවුරු පිට නැඟ දුවති; නිවෙස් මුදුනට නැඟ සොරුන් මෙන් කවුළුවලින් රිංගා යති. උන් ඉදිරියෙහි පොළොව කම්පා වෙයි; අහස ගුගුරයි; ඉර හඳ අඳුරු වෙයි; තරු තවත් නොබබළයි. සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක. භට හමුදාව අතිවිශාල ය; ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය; සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය; අතිභයංකර ය. එය දැරිය හැක්කේ කවරෙකුට ද?”

ජෝවෙල් 2:1-11 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝවෙල් 2:1-11 New International Version (NIV)

Blow the trumpet in Zion; sound the alarm on my holy hill. Let all who live in the land tremble, for the day of the LORD is coming. It is close at hand— a day of darkness and gloom, a day of clouds and blackness. Like dawn spreading across the mountains a large and mighty army comes, such as never was in ancient times nor ever will be in ages to come. Before them fire devours, behind them a flame blazes. Before them the land is like the garden of Eden, behind them, a desert waste— nothing escapes them. They have the appearance of horses; they gallop along like cavalry. With a noise like that of chariots they leap over the mountaintops, like a crackling fire consuming stubble, like a mighty army drawn up for battle. At the sight of them, nations are in anguish; every face turns pale. They charge like warriors; they scale walls like soldiers. They all march in line, not swerving from their course. They do not jostle each other; each marches straight ahead. They plunge through defenses without breaking ranks. They rush upon the city; they run along the wall. They climb into the houses; like thieves they enter through the windows. Before them the earth shakes, the heavens tremble, the sun and moon are darkened, and the stars no longer shine. The LORD thunders at the head of his army; his forces are beyond number, and mighty is the army that obeys his command. The day of the LORD is great; it is dreadful. Who can endure it?