ශු. යොහන් 6:58-70

ශු. යොහන් 6:58-70 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වර්ගයෙන් බැස ආ රොටි මෙයයි; ඔබේ පියවරු මන්නා කෑහ; ඔවුහු මළහ. එහෙත් මේ රොටි ආහාරයට ගන්නා තැනැත්තා සදාතනික ව ජීවත් වේ යැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ මේ දෑ පැවසුවේ කපර්ණවුම්හි සිනගෝගයේ උගන්වමින් සිටියදී ය. ඒ ඇසූ උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක්, “මේක මහ තද කියමනක්. ඕවා අහන්න පුළුවන් කවුරුන්ට දැ?” යි කීහ. තම ගෝලයින් ඒ ගැන මැසිවිලි නගන වග තමා තුළ දැනගත් යේසුස්වහන්සේ, “කිම ද? ඔබටත් මෙය පැකිළීමක් ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටි තැනට නැගී යනවා ඔබ දුටුවොත් කොහොම ද? ජීවනය දෙන්නේ ආත්මයාණෝයි. මාංසය ප්‍රයෝජනවත් නො වේ. මා ඔබට පැවසූ වචන ආත්මය හා ජීවනයයි. එනමුත් ඔබගෙන් ඇතමෙක් විශ්වාස කරන්නේ නැතැ” යි කී සේක. මන්ද විශ්වාස නො කරන්නේ කවුරු ද, තමා පාවා දෙන්නේ කවුරු ද යන්න යේසුස්වහන්සේ මුල පටන් ම දැන සිටි බැවිනි. උන්වහන්සේ කතා කරමින්, “මේ නිසයි මා ඔබට කීවේ, මගේ පියාණන්වහන්සේගෙන් අනුමැතිය ලැබූ කෙනකුට මිස, කිසිවකුටත් මා වෙත එන්නට නො හැකි ය කියා” යි පැවසූ සේක. මේ නිසා උන්වහන්සේගේ ගෝලයින් බොහෝ දෙනෙක් ආපසු හැරී ගියෝ තවදුරටත් උන්වහන්සේ සමඟ ගමන් නො කළහ. යේසුස්වහන්සේ දොළොස් දෙනා අමතමින්, “ඔබටත් ඒ වගේ හැරී යන්නට ඕනෑ දැ?” යි ඇසූ සේක. සීමොන් පේතෘස් උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ස්වාමිනි, අප කවුරු ළඟට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබටයි. දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාණෝ ඔබ බව අපි විශ්වාස කර ගෙන සිටිමු; අපි එය දනිමු” යි පැවසී ය. එවිට යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ දොළොස් දෙනා තෝරා ගත්තේ මා නො වේ ද? එනමුත් ඔබෙන් කෙනෙක් යක්ෂයෙකැ” යි කී සේක.

ශු. යොහන් 6:58-70 Sinhala Revised Old Version (SROV)

ස්වර්ගයෙන් බැස ආවාවූ කෑම මේය. පියවරුන් කාලා මැරුණාක්මෙන් නොව, මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත්වන්නේයයි කීසේක. උන්වහන්සේ කපර්ණවුමේ උගන්වමින් සිටිසේක්, මේ කාරණා සිනගෝගයේදී කීසේක. එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය. ගෝලයන් ඒ ගැන කොඳුරන බව යේසුස්වහන්සේ තමන් තුළ දැන, ඔවුන්ට කියනසේක්: මේක නුඹලාට බාධාවක්ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද? ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි. නුමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිතියි කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන්වහන්සේ පාවාදෙන්ට සිටියේ කවුද කියාත් යේසුස්වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේක. එහෙයින් උන්වහන්සේ කියනසේක්: මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරි බව නුඹලාට කීවෙමියි කීසේක. මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය. නුඹලාත් අහක්ව යන්ට කැමතිදැයි යේසුස්වහන්සේ දොළොසගෙන් ඇසූසේක. සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය. අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනන්වහන්සේ බව විශ්වාසකරගෙන දැනගෙන සිටිමුයයි කීවේය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා විසින් නුඹලා දොළොස්දෙනා තෝරාගත්තා නොවේද? නුමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක්යයි කීසේක.

ශු. යොහන් 6:58-70 Sinhala New Revised Version (NRSV)

මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.” උන් වහන්සේ කපර්ණවුමේ ධර්මශාලාවෙහි උගන්වමින් සිටිය දී මේ සියල්ල වදාළ සේක. එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් “මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ”යි තමන් අතරේ කතා කරගත්හ. ශ්‍රාවකයන් මෙසේ මැසිවිලි කියන බව ජේසුස් වහන්සේ දිවැසින් දැන ඔවුන් අමතා, “මෙය ඔබට අධෛර්යයට පත්වීමට හේතුවක් ද? එසේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පෙර සිටි තැනට නඟිනු බව ඔබ දුටුවොත් කෙසේ ද? ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නෝ කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි. එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, “මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක. මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ. ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා, “ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ”යි ඇසූ සේක. සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, “ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු. එසේ ම ඒ බව දනිමු”යි කී ය. ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ දොළොස් දෙනා තෝරාගත්තේ මම නොවෙම් ද? ඒ නමුත් ඔබෙන් එක් කෙනෙක් යක්ෂයෙක් ය”යි වදාළ සේක.

ශු. යොහන් 6:58-70 Sinhala New Revised Version 2018 (SNRV)