ශු. යොහන් 5:17-47

ශු. යොහන් 5:17-47 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යේසුස්වහන්සේ කතා කරමින්, “මගේ පියාණන්වහන්සේ තවමත් වැඩ කරන සේක; මමත් වැඩ කරන්නෙමි” යි පැවසූ සේක. උන්වහන්සේ මරා දැමීමට යුදෙව්වරුන් වඩාත් වෙර දැරුවේ මේ නිසා ය; ඒ, උන්වහන්සේ සබත් නීති කඩ කළා පමණක් නො ව, දෙවියන්වහන්සේ ස්වකීය පියාණන් ය කියා ගනිමින්, දෙවියන්වහන්සේ හා සම තත්වයක් පවරා ගත් බැවිනි. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පියාණන්වහන්සේ යම් සේ ක්‍රියා කරනවා පුත්‍රයා දකිනවා ද, ඒ දේ ම කරනවා මිස, තනි ව කිසිවක් කරන්නට පුත්‍රයාට නුපුළුවන් බවයි. පුත්‍රයා කරන්නේ, ඒ සැටියෙන් ම පියාණන්වහන්සේ කරන දේ කිරීමයි. පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන නිසා, තමන් කරන හැම දෙයක් ම පුත්‍රයාට පෙන්වන සේක. ඔබ මවිත කරවන මීට වඩා විශිෂ්ට දෑ මතු පෙන්වනු ඇත. පියාණන්වහන්සේ මළවුන් නැගිටුවා ඔවුන්ට ජීවනය දෙන්නා සේ, පුත්‍රයා ද තමන් කැමති අයකුට ජීවනය දෙන්නේ ය. තවද පියාණන්වහන්සේ කිසිවකුත් විනිශ්චය නො කර, විනිශ්චය මුළුමනින් ම පුත්‍රයාණන් අතට බාර දී ඇත. එසේ කර ඇත්තේ, සියලු දෙනා වෙතින් පියාණන් ලබන ගෞරවය ම පුත්‍රයාත් ලබන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නො කරන්නා, ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව කරන්නේ නැත. “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචන අසා, මා එවූ තැනැන්වහන්සේ විශ්වාස කරන තැනැත්තාට සදාතන ජීවනය ඇත. ඔහු විනිශ්චයට පත් වන්නේ නැත; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටී. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ කටහඬ මළවුන්ට ඇසෙන පැය උදා වන බවයි; එය දැනටමත් උදා වෙලා. ඊට සවන් දෙන්නෝ ජීවත්වන්නෝ ය. පියාණන්වහන්සේ තුළ ජීවනය ඇතිවා සේ ම, තමන් තුළ ඒ ජීවනය ඇති ව සිටීමට පුත්‍රයාණන්ට ද වර දී තිබේ. තවද පුත්‍රයාණන්, මනුෂ්‍ය පුත්‍රයාණන් බැවින්, විනිශ්චය කිරීමේ අධිකාරිත්වය උන්වහන්සේ පුත්‍රයාණන්ට දී තිබේ. “මේ ගැන පුදුම වන්න එපා. සොහොනේ නිදන මළවුන් උන්වහන්සේගේ කටහඬ අසන පැය උදා වෙයි. එවිට යහපත කළෝ, ජීවනයේ නැවත නැගිටීමටත්, දුෂ්ටකම් කළෝ, දඬුවම් විඳීමේ නැවත නැගිටීමටත් පිටතට එන්නෝ ය. තනි කැමැත්තට කිසිවක් කරන්නට මට නො හැකියි. මා විනිශ්චය කරන්නේ මට ඇසෙන විදියටයි; මගේ විනිශ්චය සාධාරණයි; මන්ද මා මගේ කැමැත්ත නො ව, මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයන නිසයි. “මා, මා ගැන ම සාක්ෂි දෙන්නේ නම් ඒ සාක්ෂිය වලංගු නැත. මා උදෙසා සාක්ෂි දෙන කෙනෙක් සිටී; මා ගැන උන්වහන්සේගේ සාක්ෂිය සත්‍යය බව මම දනිමි. “ඔබ යොහන් ළඟට මිනිසුන් යැවූ විට ඔහු සත්‍යයට සාක්ෂි දැරී ය. මා මෙසේ කියන්නේ, මිනිසකුගේ සහතිකයක් ලබන නිසා නො ව, ඔබේ ගැලවීම සඳහායි. යොහන් ඇවිළෙන, බැබළෙන පහනක් ව සිටි සමයේ ඔබත් කලක් ඔහුගේ එළියෙන් ප්‍රමෝද වූවහු ය. “එනමුත් මට තිබෙන්නේ යොහන්ගේ සාක්ෂියට වඩා උතුම් සාක්ෂියකි. ඉෂ්ට කරන පිණිස පියාණන්වහන්සේ මට පැවරූ කාර්ය වන මා දැන් කර ගෙන යන වැඩ කොටස, පියාණන්වහන්සේ මා එවූ බවට සාක්ෂි දරයි. මා එවූ පියාණන්වහන්සේ ම මා ගැන සාක්ෂි දරා ඇත. කිසි දින ඔබ උන්වහන්සේගේ කටහඬ ඇසුවේවත්, උන්වහන්සේගේ රූපකාය දුටුවේවත් නැත. උන්වහන්සේගේ වචන ඔබ තුළ රඳන්නේ නැත; මන්ද උන්වහන්සේ විසින් එවන ලද තැනැත්තාණන් ඔබ විශ්වාස කරන්නේ නැත. ඔබ ශුද්ධ ලියවිලි පිරික්සන්නේ සදාතන ජීවනය ඒවායේ ගැබ් ව ඇතැයි යන අදහසින්. මා ගැන සාක්ෂි දරන්නේ ද එම ලියවිලිමයි. එහෙත් ඒ ජීවනය ලැබීමට මා වෙත ඒම, ඔබ ප්‍රතික්ෂේප කරයි. “මිනිස් ගරු පැසසුම් මා පිළිගන්නේ නැත. ඔබේ හදේ දෙවියන්වහන්සේට ප්‍රේමයක් නැති වග මම දනිමි. මා මගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ආ නමුත් ඔබ මා පිළිගන්නේ නැත; එහෙත්, යමෙක් තමාගේ ම නාමයෙන් ආවොත් ඔබ ඔහු පිළිගනු ඇත. එනිසා එක ම දෙවියන්වහන්සේ වෙතින් එන ගෞරවය නො සොයා, තම තමන් අතරේ එකිනෙකා වර්ණනා කර ගන්නා ඔබ, විශ්වාස කරන්නේ කොහොම ද? “ඔබට විරුද්ධ ව පියාණන්වහන්සේ ඉදිරියේ මම පැමිණිලි කරතැයි නො සිතන්න; එහෙත් ඔබට චෝදනා කරන කෙනෙක් සිටී. ඒ, ඔබ බලාපොරොත්තු තබා සිටින මෝසෙස් ම ය. ඔබ මෝසෙස් විශ්වාස කරනවා නම්, මා ද විශ්වාස කරනු ඇති; ඒ, ඔහු මා ගැන ලියූ නිසයි. මෝසෙස්ගේ ලියවිලි විශ්වාස කරන්නේ නැති ඔබ, මගේ වචන විශ්වාස කරන්නේ කොහොම දැ?” යි කී සේක.

ශු. යොහන් 5:17-47 Sinhala Revised Old Version (SROV)

නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ පියාණන්වහන්සේ මේ දක්වාම ක්‍රියාකරනසේක, මමත් ක්‍රියාකරමියි කීසේක. එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමාන කරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය. එබැවින් යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරනසේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය. කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක. මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය. තවද සියල්ලන් විසින් පියාණන්වහන්සේට ගෞරවකරන්නාක් මෙන්ම පුත්‍රයාටත් ගෞරවකරන පිණිස, පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි. සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි. සැබවක් සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය. මක්නිසාද පියාණන්වහන්සේ තමන් තුළම ජීවනය ඇතුව සිටින්නාක්මෙන් පුත්‍රයාටත් තමන් තුළම ජීවනය ඇතුව සිටින්ට උන්වහන්සේ වරය දුන්සේක. ඔහු මනුෂ්‍ය පුත්‍රයා බැවින් විනිශ්චයකරන්ටද බලය දුන්සේක. මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත–නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත–නැගිටීමටත් පිටත්ව එන්නෝය. මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි. මම මා ගැනම සාක්ෂිදෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ. මා ගැන සාක්ෂිදෙන්නේ වෙන කෙනෙක්ය; උන්වහන්සේ විසින් මා ගැන දෙන සාක්ෂිය සැබෑ බව දනිමි. නුඹලා යොහන් ළඟට මනුෂ්‍යයන් යැවූහුය, ඔහු සත්‍යතාව ගැන සාක්ෂිදුන්නේය. එහෙත් මා ලබන සාක්ෂිය මනුෂ්‍යයන්ගෙන් නොවේ. එසේ වුවත් නුඹලා ගැළවෙන පිණිස මේ දේ කියමි. ඔහු ඇවිළෙන්නාවූ බබළන්නාවූ පහනව සිටියේය. නුඹලාද කාලයක් ඔහුගේ එළියෙහි ප්‍රීතිමත්වන්ට කැමැතිව සිටියහුය. නුමුත් මට ඇත්තාවූ සාක්ෂිය යොහන්ගේ සාක්ෂියට වඩා උතුම්ය. මක්නිසාද මා විසින් ඉෂ්ටකරන පිණිස පියාණන්වහන්සේ මට භාරදුන්නාවූ මා කරන්නාවූ වැඩම, පියාණන්වහන්සේ මා එවූ බවට මා ගැන සාක්ෂිදෙයි. තවද මා එවූ පියාණන්වහන්සේම මා ගැන සාක්ෂිදුන්සේක. නුඹලා කිසිකලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත. උන්වහන්සේගේ වචනය නුඹලා තුළ පවතින්නෙත් නැත. මක්නිසාද උන්වහන්සේ විසින් එවනලද තැනැත්තා නුඹලා විශ්වාසකරන්නේ නැත. ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි; නුමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමැති නැත. මම මනුෂ්‍යයන්ගෙන් ගෞරවය නොලබමි. නුමුත් නුඹලා අඳුනමි, දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය නුඹලා තුළ නැති බව දනිමි. මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත. එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද? පියාණන්වහන්සේ ඉදිරියෙහි මම නුඹලාට වරද තබන්නෙමියි නොසිතන්න. නුඹලාට වරද තබන කෙනෙක් ඇත. එනම් මෝසෙස්ය. නුඹලාගේ බලාපොරොත්තුව තබා තිබෙන්නේ ඔහු කෙරෙහිය. මක්නිසාද නුඹලා මෝසෙස් විශ්වාසකරනවා නම් මාත් විශ්වාසකරනවා ඇත; කුමක් හෙයින්ද ඔහු මා ගැන ලියුවේය. නුමුත් නුඹලා ඔහුගේ ලියවිලි විශ්වාස නොකරනවා නම්, මාගේ වචන විශ්වාසකරන්නේ කොහොමදැයි කීසේක.

ශු. යොහන් 5:17-47 Sinhala New Revised Version (NRSV)

එහෙත්, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ පියාණන් වහන්සේ නොනැවතී ම වැඩ කරන සේක; මමත් වැඩකරමි”යි වදාළ සේක. මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ. මන්ද, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව, “දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය”යි කියමින්, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය. ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක: “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි: පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකි ය; පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේ ද, ඒ දෙය මිස තනි ව ම කිසිවක් කරන්නට උන් වහන්සේට නො හැකි ය. මන්ද, උන් වහන්සේ යම් දෙයක් කරන සේක් ද, ඒ දෙය පුත්‍රයාණෝ ද එසේ ම කරන සේක. මන්ද, පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින්, තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන් වහන්සේට දක්වා වදාරන සේක. තවද, ඔබ මවිත කරවන සුලු, මීටත් වඩා මහත් ක්‍රියා ද දක්වා වදාරන සේක. පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක. සැබැවින් ම පියාණන් වහන්සේ කිසිවකු විනිශ්චය නොකරන සේක. සම්පූර්ණ විනිශ්චය පුත්‍රයාණන් හට පවරා ඇත. එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය. “ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි. ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති. පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක. තවද, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අධිකාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක. මේ ගැන මවිත නොවන්න; මන්ද, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය. එවිට, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති. “මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ, මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ය.” “මම, මා ගැන ම සාක්ෂි දෙන්නෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ. එහෙත්, මා ගැන සාක්ෂි දරන වෙන කෙනෙක් වෙති. උන් වහන්සේ මා ගැන දරන සාක්ෂිය සැබෑ බව මම දනිමි. ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත. එහෙත්, මා මේ දේ ඔබට කියන්නේ, මිනිසාගෙන් සාක්ෂියක් ලබන පිණිස නොව, ඔබ ගැළවීම ලබන පිණිස ය. ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය. එහෙත් මට ඇති සාක්ෂිය ජොහන්ගේ සාක්ෂියට වඩා උතුම් එකකි. මන්ද, මා විසින් පරිපූර්ණ කරනු ලබන පිණිස පියාණන් වහන්සේ මට පැවරූ කටයුතු, එනම්, මා කරන කටයුතු ම, පියාණන් වහන්සේ මා එවා වදාළ බවට සාක්ෂි වෙයි. තවද, මා එවා වදාළ පියාණන් වහන්සේ ම මා පිළිබඳව සාක්ෂි දරා ඇත. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක නැත. තවද, උන් වහන්සේගේ වචනය ඔබ තුළ නිදන්ගත වී නැත. මන්ද, ඔබ උන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ විශ්වාස නොකරන බැවිනි. ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය. එහෙත්, ජීවනය ලබන පිණිස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය. “මම මිනිසුන්ගෙන් ගෞරවය නොසොයමි. එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි. මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත. එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද? ඔබට විරුද්ධ ව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි යි නො සිතන්න. ඔබට විරුද්ධ ව චෝදනා කරන්නෙක් ඇත; එනම්, මෝසෙස් ය. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය. ඔබ මෝසෙස් විශ්වාස කළාහු නම්, මා ද විශ්වාස කරන්නහු ය. මන්ද, මෝසෙස් මා ගැන ලියූ බැවිනි. ඔබ මෝසෙස්ගේ ලියවිලි විශ්වාස නොකරන්නහු නම්, මාගේ වචන විශ්වාස කරන්නේ කෙසේ ද?”

ශු. යොහන් 5:17-47 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. යොහන් 5:17-47 New International Version (NIV)

In his defense Jesus said to them, “My Father is always at his work to this very day, and I too am working.” For this reason they tried all the more to kill him; not only was he breaking the Sabbath, but he was even calling God his own Father, making himself equal with God. Jesus gave them this answer: “Very truly I tell you, the Son can do nothing by himself; he can do only what he sees his Father doing, because whatever the Father does the Son also does. For the Father loves the Son and shows him all he does. Yes, and he will show him even greater works than these, so that you will be amazed. For just as the Father raises the dead and gives them life, even so the Son gives life to whom he is pleased to give it. Moreover, the Father judges no one, but has entrusted all judgment to the Son, that all may honor the Son just as they honor the Father. Whoever does not honor the Son does not honor the Father, who sent him. “Very truly I tell you, whoever hears my word and believes him who sent me has eternal life and will not be judged but has crossed over from death to life. Very truly I tell you, a time is coming and has now come when the dead will hear the voice of the Son of God and those who hear will live. For as the Father has life in himself, so he has granted the Son also to have life in himself. And he has given him authority to judge because he is the Son of Man. “Do not be amazed at this, for a time is coming when all who are in their graves will hear his voice and come out—those who have done what is good will rise to live, and those who have done what is evil will rise to be condemned. By myself I can do nothing; I judge only as I hear, and my judgment is just, for I seek not to please myself but him who sent me. “If I testify about myself, my testimony is not true. There is another who testifies in my favor, and I know that his testimony about me is true. “You have sent to John and he has testified to the truth. Not that I accept human testimony; but I mention it that you may be saved. John was a lamp that burned and gave light, and you chose for a time to enjoy his light. “I have testimony weightier than that of John. For the works that the Father has given me to finish—the very works that I am doing—testify that the Father has sent me. And the Father who sent me has himself testified concerning me. You have never heard his voice nor seen his form, nor does his word dwell in you, for you do not believe the one he sent. You study the Scriptures diligently because you think that in them you have eternal life. These are the very Scriptures that testify about me, yet you refuse to come to me to have life. “I do not accept glory from human beings, but I know you. I know that you do not have the love of God in your hearts. I have come in my Father’s name, and you do not accept me; but if someone else comes in his own name, you will accept him. How can you believe since you accept glory from one another but do not seek the glory that comes from the only God? “But do not think I will accuse you before the Father. Your accuser is Moses, on whom your hopes are set. If you believed Moses, you would believe me, for he wrote about me. But since you do not believe what he wrote, how are you going to believe what I say?”