ශු. යොහන් 4:31-38

ශු. යොහන් 4:31-38 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ අතර ගෝලයෝ, “රබ්බී, යමක් කන්නැ” යි උන්වහන්සේට පෙරැත්ත කළහ. “ඔබ කොහෙත් ම නො දන්නා ආහාරයක් ගැනීමට මට තියෙනවා” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. එබැවින් ඔවුහු, “කවුරුවත් උන්වහන්සේට ආහාර ගෙනැවිත් දුන්නා දැ?” යි එකිනෙකා විමසූහ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මගේ ආහාරය මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කර, උන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමයි. ‘තව හාර මාසයයි; ඊළඟට කපන කාලය පැමිණේ’ යි ඔබ කියනවා නො වේ ද? මා ඔබට කියන්නේ, ඇස් ඇර කුඹුරු දිහා බලන්න! අස්වනු නෙළීමට ඒවා දැනටමත් පැහිලා. වපුරන්නාත්, කපන්නාත් එක් ව ප්‍රීති ප්‍රමෝද වන පිණිස අස්වනු නෙළන්නා දැනටමත් තම වැටුප් ලැබ, සදාතන ජීවනයට පලදාව රැස් කරයි. මෙසේ, ‘කෙනෙක් වපුරන්නේ ය, අන් කෙනෙක් කපන්නේ ය’ යන කියමන සැබෑ වෙයි. ඔබ වැඩ නො කළ කුඹුරක අස්වනු නෙළීමට මම ඔබ යැවුවෙමි. වැපිරීමේ වෙහෙස දැරුවේ වෙනත් අයයි. ඔවුන්ගේ වෙහෙසේ පල භුක්ති විඳින්නෝ ඔබ යැ” යි පැවසූ සේක.

ශු. යොහන් 4:31-38 Sinhala Revised Old Version (SROV)

ඒ අතර ගෝලයෝ කථාකොට: රබ්බි, කෑව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය. නුමුත් උන්වහන්සේ: නුඹලා නොදන්නා කෑමක් කන්නට මට තිබේයයි ඔවුන්ට කීසේක. එබැවින්: කවුරුවත් උන්වහන්සේට කෑම ගෙනාවාදෝ කියා ගෝලයෝ එකිනෙකා කථාකරගත්තෝය. යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය. තව සාරමසක් ගිය කල ගොයම් කපන කාලය පැමිණෙන්නේයයි නුඹලා කියනවා නොවේද? මම නුඹලාට කියමි–නුඹලාගේ ඇස් ඔසවා කුඹුරු දෙසට යොමා, ගොයම් දැනටම කැපීමට පැහී තිබෙන බව බලන්න. වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂවන පිණිස, කපන්නා කුලී ලැබ සදාකාල ජීවනයට අස්වැන්න එකතුකරගන්නේය. මක්නිසාද: එක්කෙනෙක් වපුරන්නේය, වෙන කෙනෙක් කපන්නේය යන කීම මෙයින් සැබෑවේ. නුඹලා විසින් වැඩ නොකළ ගොයම් කපන්ට මම නුඹලා යැවීමි. අන්‍යයෝ වැඩකළෝය, නුඹලා ඔවුන්ගේ වැඩට පැමින්නෝයයි කීසේක.

ශු. යොහන් 4:31-38 Sinhala New Revised Version (NRSV)

ඒ අතර ශ්‍රාවකයෝ, “ගුරුදේවයෙනි, වළඳනු මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය. එහෙත් උන් වහන්සේ, “ඔබ නො දන්නා භෝජනයක් වැළඳීමට මට ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. “යම් කිසිවෙක් උන් වහන්සේට ආහාර ගෙනවුත් දුන්නේ දැ”යි එවිට ශ්‍රාවකයෝ තම තමන් අතරේ විමසූ හ. ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය. “තව හාරමාසයක් ගත වූ විට අස්වැන්න පැමිණේ යයි ඔබ කියන්නේ නැද් ද? එහෙත් මම ඔබට කියමි: බලන්න, ඔබේ ඇස් ඇර කුඹුරු නරඹන්න; මන් ද? ඒවා දැනට ම අස්වැන්න සඳහා පැසී ඇත. ගොයම් කපන්නා කුලිය ලබා, සදාතන ජීවනය සඳහා අස්වැන්න එකතු කරයි; එසේ වන්නේ, වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණිස ය. මෙයින්, ‘එක් කෙනෙක් වපුරයි, තව කෙනෙක් කපයි’ යන කීම සැබෑ වෙයි. ඔබ වගා නො කළ කෙතක අස්වැන්න කැපීමට මම ඔබ යැවීමි. අන්‍යයෝ වගා කළහ. ඔබ ඔවුන්ගේ වගාවේ ප්‍රතිඵල භුක්ති විඳින්නහු ය”යි වදාළ සේක.

ශු. යොහන් 4:31-38 Sinhala New Revised Version 2018 (SNRV)